ඉර එළිය ඇති තැනක් - යසුනරි කවබතා
- Kavya Thathsara
- Jan 23, 2024
- 3 min read
මගේ දිවි ගමනේ මා ගෙවා දැමූ විසි හතරවැනි අවුරුද්දේ සරත් සමයේ දී මුහුදු වෙරළ අසළ පිහිටි නැවතුම් පොළක දී මට එක්තරා කෙල්ලක හමුවිය. ඒ ප්‍රේමයක ආරම්භය විය.
ගැහැනු ළමයා එක්වර ම ඇගේ හිස ඔසොවා, ඇය ඇඳ සිටි කිමෝනෝවේ අතකින් ඇගේ මුහුණ වසාගත්තා ය. එය දුටු පසු, මට සිතුණේ මා මගේ නරක පුරුද්ද නැවතත් පෙන්වා ඇතැයි කියා ය. මම ලජ්ජාවට පත් වූ අතර, වේදනාබර ඉඟියක් පෑමි.
“මම ඔයා දිහා බලන් හිටියා, නේද?”
“ඔව් . . . ඒත්, එහෙම කරන්න හේතුව ඒක නෙවෙයි.” හඬ ඇගේ මිහිරි විය; දෙඩූ වදන් ඇය, රළු නොවී ය. මගේ සිතට සහනයක් දැනිණි.
“ඒක ඔයාට වදයක් නේද?”
“නෑ. ඒකට කමක් නෑ, ඒත් . . . ඇත්තට ම, ඒකෙ ප්‍රශ්නයක් නැහැ.”
ඇය, ඇගේ මුහුණ වසා සිටි අත පහතට දැමුවා ය. ඇගේ මුහුණ මා හමුවේ නිරාවරණය කිරීමට ඇය දැරූ වෑයමේ තරම කොතෙක්දැයි කියා ඇගේ මුහුණේ ස්වභාවය දුටු විට මට පෙනිණි. ඇගෙන් ඉවතට මුහුණ හරවා, මම සාගරය දෙස බැලුවෙමි.
මගේ පසෙකින් හිඳ සිටින අයගේ මුහුණ දෙස බලා සිටීමේ පුරුද්ද මට බොහෝ කල් සිට ම තිබිණි. ඒ පුරුද්ද මා නැති කරගෙන ඇතැයි කියා නිතර ම පාහේ මා සිතුවත් අන්‍යයින් දෙස බලන්නට උත්සහ නොකිරීම මට අපහසු දෙයක් විය. මා එවැන්නක් සිදු කරන වග මට වැටහුණු විට, මට මා කෙරෙහි ම මහා වෛරයක් ඇති වන්නේ ය. සමහර විට, මෙම පුරුද්ද, මට මාගේ දෙමව්පියන් සහ නිවස අහිමි වූවා ට පසු, පවුලේ අනෙක් අය සමඟ ජීවත් වන්නට ගොසින් සිටිය දී නිතර ම ඔවුන්ගේ මුහුණු කියවන්නට මා උත්සහා කළ නිසා ඇති වූ යමක් විය හැක. එය නිසා මා මෙයා’කාර වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.
මේ පුරුද්ද, පවුලේ අනෙක් අය සමඟ ජීවත් වන්නට යන්නට පෙර සිට ම, මගේ ම නිවසේ මා ජීවත් වූ කාලයේ සිට ම, ඇති වූ පුරුද්දක් වූවාදැයි කියා එක් අවස්ථාවක නිශ්චය කර බලන්නට මම උත්සහ කළෙමි. එහෙත්, එවැන්නක් අනුමාන කර හැකිවන කිසි ම මතකයක්, මගේ මනසේ නොතිබිණි.
කෙසේ වුවත්, ගැහැනු ළමයාගෙන් ඉවතට මුහුණ හරවත් ම, මට සරත් ඍතුවේ ඉර එළිය පැතිරී ගොසින් ඇති ස්ථානයක් මුහුදු වෙරළේ පෙනිණි. එම ස්ථානය, බෝ කලක් මතක අතරේ වැළලී තිබූ එක්තරා මතකයක්, මගේ සිහියට කැඳවී ය.
මාගේ දෙමවුපියන් මිය පරළොව ගියා ට පසු, මම, මාගේ සීයා සමඟ අවුරුදු දහයක් ම, ගම්බද පෙදෙසක වූ නිවසක, තනි ව ජීවත් වීමි. මගේ සීයා අන්ධ පුද්ගලයෙක් විය. ඔහු අවුරුදු ගණනාවක් ම, ඔහු ඉදිරියේ ගල් අඟුරු බඳුනකුත් තබාගෙන, නැගෙනහිරට මුහුණ යොමු කරගෙන, එක ම කාමරයක, එක ම තැනක වාඩි වී සිටී ය. ඉඳ හිට ඔහු දකුණු දිශාවට ඔහුගේ මුහුණ යොමු කරත්, උතුරට ඔහුගේ මුහුණ යොමු කළේ ම නැත. මගේ සීයාගේ මේ එක් දිශාවකට පමණක් මුහුණ යොමු කරගෙන සිටීමේ පුරුද්ද මට හසු වුණු පසු, මම එය ගැන බෙහෙවින් වද වුණෙමි. සමහර අවස්ථාවල දී මම, මාගේ මුහුණ ඔහුගේ මුහුණෙන් මඳකටවත් ඉවත ට නොගෙන, ඔහු උතුරු දිශාවට එක් වතාවක් හෝ මුහුණ හරවන්නේදැයි කියා විමසිලිමත් ව බලා සිටින්නට හුරු ව සිටියෙමි. එහෙත්, ඉලෙක්ට්‍රික් බෝනික්කෙක් මෙන්, සීයා සෑම මිනිත්තු පහකට සැරයක් පාසා, දකුණු පැත්තට මුහුණ හරවන්නේ දකුණු දිශාවට ඔහුගේ මුහුණ යොමු වන පරිදි ය. එය මට දුක්බර හැඟීමක් ගෙන දිණි. එය අමුතු හැසිරීමක් ලෙසින් මට පෙනිණි. නමුත් දකුණට වන්නට තිබුණේ ඉර එළිය ඇති තැනකි; අන්ධ පුද්ගලයෙකුට පවා දකුණු දිශාව අනෙක් දිශාවලට වඩා යම්තමින් හෝ එළිය වී ඇති බවක් දැනුණේ දැයි කියා මම කල්පනා කළෙමි.
වෙරළ දෙස බලමින්, මම, මට අමතක ව තිබූ ඉර එළිය පැතිර තිබූ අනෙක් තැන ගැන සිහිපත් කළෙමි.
ඒ දිනවල, මාගේ සීයා උතුරු දිශාවට මුහුණ යොමන තෙක් මම සීයාගේ මුහුණ දෙස බලා හුනිමි. ඔහු අන්ධ වූ හෙයින්, ඔහු දෙස මම මඳකුදු නොසෙල්වී බලා සිටින්නට හුරු වීමි. මිනිසුන්ගේ මුහුණු දෙස බලා සිටීමේ පුරුද්ද බවට පෙරැළුණේ එය බව මට වැටහුණේ එවිට ය. බලන් යද්දී, මිනිසුන් දෙස බලා සිටීමේ පුරුද්ද මා සතු ව තිබී ඇත්තේ මා මාගේ ම නිවසේ විසූ කල්හි සිට ම ය. එසේ නම් එය පහත් අදහස් නිසා පැන නැංගක් නොවේ. මේ පුරුද්ද තිබීම පිළිබඳ ව මට ම මා අනුකම්පා කරගත්තාට මට දැන් කිසි දෙගිඩියාවක් දැනුණේ නැත. එම සිතිවිල්ල නිසා මට සතුටින් උඩ පනින්නට ද සිත් විය – වැඩිපුර ම ඒ එවේලේ මේ ගැහැනු ළමයා වෙනුවෙන් පවිත්‍රවත් වීමේ ලාලසෙන් මගේ හද පිරී තිබූ නිසාවෙනි.
ගැහැනු ළමයා නැවත ඇගේ හඬ අවදි කළා ය. “මට මූණ පෙන්නලා හුරුයි, ඒ වුණත් මට තව ම ටිකක් ලැජ්ජයි.”
ඇගේ වචනවලින් කියැවුණේ ඇගේ මුහුණ දෙස බලා සිටින්නට මට අවසර බව යි. මා කළින් නරක හැසිරීමක් ප්‍රදර්ශනය කළායැයි කියා ඇය සිතුවා වන්නට හැක.
පෙරට වඩා ආලෝකමත් වූ මුහුණින් මම නැවතත් ඇය දෙස බැලීමි. ඇගේ මුහුණ ලජ්ජාවෙන් රතු වූ අතර, ඇය හෙළූ බැල්ම දඟකාර විය. “ගතවෙන දවාලක් ගාණෙ, ගතවෙන රැයක් ගාණෙ, මගෙ මූණෙ ආගන්තුක බව අඩුවෙලා යයි. ඒ නිසා මං ඒ ගැන වදවෙන්නෙ නෑ.” ළදරුවෙකු මෙන්, ඈ තෙපළා ය.
මම මඳහසක් පෑයෙමි. අප’තර වූ සම්බන්ධයට හදිසියේ ම මොකක්දෝ ඇඟෑලුම් කමක් එක්කාසු වූවාදැයි කියා මම කල්පනා කළෙමි. මගේ සීයාගේ ද, මේ ගැහැනු ළමයාගේ ද මතකයන් උසුලාන, මුහුදු වෙරළේ ඉර එළිය පැතිරී ඇති ස්ථානයට යන්නට මට වුවමනා විය.
ඉංග්‍රීසි පරිවර්තනය: ලේන් ඩන්ලොප්
සිංහල පරිවර්තනය: කාව්‍ය තත්සර


Comments