top of page

එව්ලින් - ජේම්ස් ජොයිස්

සැඳෑ ආලෝකය මාවත ආක්‍රමණය කරගන්නා අයුරු දෙස ජනේලය අසළ හිඳ උන් ඇය බලා සිටියා ය. ඇගේ හිස ජනෙල් තිරවලට හේත්තු වී තිබුණ’තර, දූවිලි බැඳී තිබූ එම ඝනකම් තිරවල තිබූ දුගඳ, ඇගේ නැහැ පුඩුවලට ඇතුලු විය. ඇය සිටියේ හෙම්බත් ව ය.


මාවතේ කිහිපදෙනෙක් ගමන් ගත්හ. මාවතේ අවසානයට ම පිහිටි නිවසේ විසූ තැනැත්තා රැකියාවට ගොසින් නැවත එනු ඇය දුටුවා ය; ඔහුගේ දෙපා කොන්ක්‍රීට්වලින් සාදන ලද පදිකාවේ ‘ටක – ටකස්’ හඬින් ගැටී, ඉක්බිති අළුතින් තනන ලද, රතු පැහැ තින්ත ආලේපිත නිවෙස් ඉදිරියේ වූ අඟුරු අතුල පාරේ ‘චරස්’ හඬ නංවමින් ගැටෙනු ඇයට ඇසිණි. කලකට පෙර, එතැන තිබුණේ අන් අයගේ දරුවන් සමඟ ඔවුන් සන්ධ්‍යා කාලවල සෙල්ලම් කළ ඉඩමකි. ඉන්පසු, බෙල්ෆාස්ට්වලින් පැමිණි එක්තරා මිනිසෙක්, එම ඉඩම මිලට ගෙන, එව්ලින්ලාගේ නිවෙස් මෙන් දුඹුරු පැහැ ආලේපිත නිවෙස් නොවන, දිලිසෙන වහල ඇති දීප්තිමත් පැහැ ගඩොලින් තනන ලද නිවෙස් ගොඩනැඟී ය. මාවතේ ජීවත් වූ ළමෝ – එනම් ඩෙවයින් ලා, වෝටර්ස් ලා, ඩන් ලා, කොරෙකු වූ පුංචි කියෝ, ඇය සහ ඇගේ සොයුර සොයුරියෝ, එම ඉඩමේ සෙල්ලම් කළහ. කෙසේ වුවත් අර්නස්‍ට් නම් සෙල්ලම් කළේ නැත. ඒ ඔහු වයසින් මුහුකුරා ගොසින් තිබූ නිසාවෙනි. ඇගේ පියා නිතර දෙවේලේ ම පාහේ කටු ඇති බ්ලැක්තෝර්න් කෝටුවක් අතැති ව ඉඩමට ඇවිදින් ඔවුන් පැන්නූ අයුරු ඇයට සිහිවිය; එවිට ඔත්තු බැලීම සිදු කර, ඇගේ පියා පැමිණෙන්නේදැයි කියා කියන්නේ ද කියෝ ය. එහෙත්, දැනට වඩා සතුටින් ඔවුහු එකල විසූහ. ඇගේ පියා දැන් තරම් එකල දරුණු නැත; තවෙකක් තියා, ඇගේ මව ද එකල ජීවතුන් අතර සිටියා ය. ඒ බෝ කලකට ඉහත දී ය; දැන් ඇගේ සොයුරන්, සොයුරියන් වයසින් මුහුකුරා ගොසිනි; අම්මා මිය ගොසිනි. ටිසී ඩන් ද මියගොසින් උන් අතර, වෝටර්ස් ලා නැවතත් එංගලන්තයට ගොසින් තිබිණි. සෑමදෙයක් ම වෙනස් වේ. දැන් ඇය ද අනෙක් අය මෙන් යන්නට ය, නිවෙස හැරදා යන්නට ය සූදානම් වූයේ.


නිවෙස! ඇය, කාමරය වටා දෑස මෙහෙයවමින්, එය නිරීක්ෂණය කළේ, සෑම සතියකට වරක් ම, වසර ගණනාවක් පුරාවට ම තමා දූලි පිසදැමූ, තමාට හුරුපුරුදු භාණ්ඩවල මෙතරම් දූලි බැඳුණේ කෙසේදැයි කියා සිතමිනි. සමහරවිට, ඇයට හුරුපුරුදු, කිසිදා තමාගෙන් වෙන් නොවේවි යැයි කියා ඇය සිතා සිටි එම හුරුපුරුදු භාණ්ඩ නැවත කිසිදාක ඇය නොදකිනු ඇත. ඒ වුණත්, ඒ ගතවුණු වසර ගණන පුරාවට ම, අබලන් වුණු හාමෝනියම තිබූ තැන බිත්තියේ එල්ලා තිබූ මාගරට් මේරි ඇලකෝක් නම් පූජකවරියට පොරොන්දු ලබා දීම තේමා කරගෙන අඳින ලද සිත්තමේ වර්ණ පිටපත ට පසෙකින් එල්ලා තිබූ කහ ගැනෙමින් තිබූ ඡායාරූපයේ හුන් පූජකවරයා ගේ නම කුමක්දැයි කියා දැන ගන්නට නම් එව්ලින් ට නොහැකි විය. ඔහු, ඇගේ පියාගේ පාසැල් මිතුරෙකු ව සිට ඇත. නිවසට පැමිණෙන අමුත්තෙකු ට එම ඡායාරූපය ඔහු පෙන්වන්නේ කුමන අවස්ථාවේ දී ද, එවිට ඔහු පැවසූ දෙය මෙය යි:


“එයා දැන් ඉන්නෙ මෙල්බර්න්වල.”


පැන යන්නට, නිවස අතැර දමා යන්නට, ඇය හිත හදාගෙන උන්නා ය. එය බුද්ධිමත් තීරණයක් විණි ද? ගැටලුවේ දෙපැත්තට ම හිත යොමු කරන්නට ඇය උත්සහා කළා ය. කෙසේ වතුදු නිවෙසේ දී ඇගේ හිසට වහලක් සහ අහර ලැබිණි; ඇගේ මුළු ජීවිතය පිළිබඳ ව ම දැන උන් අය ඇය හා සිටියහ. නිවෙස ආශ්‍රිත වැඩ කටයුතුවල දී පමණක් නොව, ව්‍යාපාරික වැඩ කටයුතුවල දී ද ඇයට මහන්සි වී වැඩ කරන්නට සිදු වූ වග නම් හැබෑ ය. ඇය හාදයෙකු හා පැන ගොස් බව කණ වැකුණු විට, කඩයේ වැඩ කළ අය මොනවා කියාවි ද? සමහරවිට ඔවුහු, ඇය මෝඩියකැයි කියනු ඇත; එමෙන් ම, ඇගේ අඩුව පුරවන්නට, ඇබෑර්තු ද දමනු ඇත. ගැවන් මෙනෙවිය නම් ඉන් සතුටට පත් වනු ඇත. ඇය හැම විටෙක ම පාහේ, වෙසෙසින් ම අවට මිනිසුන් සිටී නම්, එව්ලින් ට සිය බලය පෙන්වන්නට පසුබට වූයේ නම් නැත.


“එව්ලින්, මේ නෝනලා බලාගෙන ඉන්න බව පේන්නෙ නැතිද?”


“අනේ එව්ලින්, ටිකක් පණ ඇතුව ඉන්න.”


වෙළඳසැළ අතැර යාමට සිදුවීම පිළිබඳ ව නම් ඇය එතරම් දුක් නොවනු ඇත.


නමුත්, දුරු රටක පිහිටි ඇගේ නව නිවෙසේ තත්වය ඊට වෙනස් වනු ඇත. ඒ වෙද්දී ඇය – එව්ලින්, විවාහපත් ව සිටිනු ඇත. එවිට මිනිසුන් ඇයට ගෞරව කර සළකනු ඇත. ඇයට ඇගේ මවට ඇගේ පියා සැළකූ පරිදි කවුරුවත් නොසළකනු ඇත. ඇය දහනවවැනි වියත් පසු කර සිටිය ද, ඇගේ පියාගේ ප්‍රචණ්ඩත්වයේ සේයාවන් සමහර අවස්ථාවන්හි දී ඇයට ද නොදැනුණා ම නොවේ. ඇගේ සිතට වැඩිපුර ම තිගැස්මක් ඇති කළේ එය බැව් ඇය දත්තා ය. ඇය කෙල්ලක වුණෙන්, ඔවුන් උස් මහත් වෙද්දී අර්නස්ට් ට සහ හැරී ට ඇගේ පියා දඬුවම් කළ තරම්, ඔවුන්ගේ පියා ඇයට දඬුවම් නොකළේ ය; එනමුත්, දැන් දැන් ඔහු ඇයට තර්ජනය කරන්නට ද, ඇගේ මව මිය නොයන්නට, ඔහු ඇයට නොකරන, නමුත් කරන්නට සිතා සිටින දේවල් පිළිබඳ ව පවසන්නට ද පටන්ගෙන ඇත. දැන් ඇය ආරක්ෂා කරන්නට ද කිසිවෙක් නොවී ය. අර්නස්ට් මියගොසින් හුන් අතර, පල්ලි අලංකරණය කිරීමේ ව්‍යාපාරයේ නිරත ව සිටි හැරී, රටේ තැනින් තැනට ගමන් ගත්තේ ය. එපමණක් නොව, මුදල් හේතු කොටගෙන සෙනසුරාදා දිනවල රාත්‍රීන් හි දී ඇති වන දබර, ඇය ව අතිශය වෙහෙසට පත් කරමින් තිබිණි. ඇය නිතර ම ඇගේ මුළු ආදායම ම—සිලිං හතක්—ඔහුට පිරිනැමුවා පමණක් නොව, හැරී ද තමා ට එවිය හැකි මුදල් ප්‍රමාණය එවූ අතර, ගැටලුව වූයේ ඇගේ පියාගෙන් මුදල් ලබාගැනීම ය. එම සෙනසුරාදාව ඔහුට එතරම් හොඳ සෙනසුරාදාවක් නොවූ නිසාවෙන් ඔහු, ඇය මුදල් නාස්ති කරන වග ද, ඇයට ඔළුවක් නොතිබූ වග ද, ඔහු වෙහෙස මහන්සි වී ඉපැයූ මුදල් ඔහේ නාස්ති කරන්නට ඇයට ලබා නොදෙන වග ද, තවත් බොහෝ දෑ ද පවසමින් ඇයට අවමන් කළේ ය. අවසන, ඔහු ඇයට මුදල් ලබා දී, ඉරිදා රෑ ආහාර වේල වෙළඳසැලෙන් මිලට ගන්නට ඇගේ අදහසක් තිබුණාදැයි අසන්නට වන්නේ ය. ඉක්බිති, ඇයට සිදුවන්නේ සිය කළු පැහැ හම් හැඹිලිය ද සුරතේ කැටිකරගෙන ඇයට හැකි ඉක්මනින් එළියට ගොසින්, වෙළඳසැළෙන් බඩු මිලයට ගෙන, ඒ ලබාගත් බඩු කර තබාගෙන, සෙනඟ අතරින් රිංගා යමින්, පරක්කු වී නිවසට ගොඩවන්නට ය. නිවෙස පිළිවෙළට තබාගැනීමේ සහ ඇයට බලා ගන්නැයි කියා භාර දෙනු ලැබුණු ළමුන් දෙදෙනා නිතිපතා පාසැල් යවා, ඔවුනට ආහාර ලබාදීමේ දුෂ්කර වැඩ කටයුත්ත භාර වුණේ ද එව්ලින් ට ය. එය දුෂ්කර කටයුත්තක්—එක්තරා දුෂ්කර ජීවිතයක්—වුව ද, දැන් ඇය එම ජීවිතය අතැර පැන යන්නට සිතා සිටි හෙයින්, එය එතරම් ම අප්‍රසන්න දිවියකැයි කියා ඇයට දැන් සිතුණේ නැත.


ඇය දැන්, ෆ්‍රෑන්ක් හා තවත් දිවියක් ගවේෂණය කරන්නට ලක ලැහැස්ති ව උන්නා ය. ෆ්‍රෑන්ක්, ඉතා කාරුණික, පෞරුෂයකින් හෙබි, විවෘත හදවතකින් යුත්තෙක් විය. ඔහුගේ භාර්‍යාව වී, ඔහු හා ඔහුගේ නිවස පිහිටි බුවනෝස් එයර්ස් හි ජීවත් වන්නට කියා රාත්‍රියේ පිටවන යාත්‍රාවෙන් පැන යන්නට ය ඇය සිතා සිටියේ. ඔහු ව මුල් වරට ඇය දුටු අවස්ථාව ඇගේ මතකයේ තිබූ අයුරු! ඔහු, ඇය නිතර ම පාහේ ගමන් ගන්නට පුරුදු ව සිටි ප්‍රධාන මාවතේ නිවසක පදිංචි ව ය උන්නේ. එය සති කිහිපයකට පෙර වූ යමක් ලෙසින් ඇගේ මතකයේ තිබිණි. ඔහු, ඔහුගේ හිසකෙස්, ඔහුගේ ලෝකඩ පැහැය ගත් මුහුණට වැටෙන පරිදි, ඔහුගේ නිල ඇඳුමේ තොප්පිය හිස පැළඳ, ගේට්ටුව අසළ සිටියේ ය. ඉන් පසු ඔවුහු එකිනෙකා හඳුනාගත්හ. ඔහු, සෑම සැඳෑවක ම, ඇය සේවය වෙළඳසැළෙහි පිටත දී හමු වී, ඇය ව නිවසට ඇරලුවේ ය. ඔහු, ඇයව බොහීමියන් ගර්ල් නම් ඔපෙරාව නරඹන්නට රැගෙන ගිය අතර, නාට්‍යශාලාවේ මිනිසුන් දුලබ ස්ථානයක ඔහු හා හිඳ සිටිද්දී ඇගේ සිත සතුටින් පිරී’තිරී ගියේ ය. ඔහු සංගීතයට බෙහෙවින් ඇලුම් කළ අතර, ගී ගයන්නට ද පසුබට නොවී ය. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් පැවති වග මිනිසුන් දැන උන් අතර, ඔහු සේලරුවෙකුට පෙම් බැඳි තරුණියක ගැන කියැවුණු ගීයක් ගයද්දී ඇගේ සිත සන්තෝෂය මුසු හැඟුම් සමඟින් වියවුල් වී. ඔහු, විනෝදයට මෙන්, ඇයට පොපන්ස් කියා කියන්නට හුරු ව සිටියේ ය. තරුණයෙකු හමු වීම පිළිබඳ ව ඇය මුලින් ප්‍රබෝධයට පත් ව සිටි අතර, පසු ව ඔහුට ආලය කරන්නට ද ඇය පෙළැඹිණි. ඔහු සතු ව දුරු රටවල් ගැන කතන්දර තිබිණි. ඔහු මුල්වරට මසකට පවුමක පඩියට, කැනඩාව බලා ගිය ඇලන් ලයින් නැව් සමාගමේ නැවක සේවය කළේ සුළු සේවකයෙකු ලෙසිනි. ඇයට ඔහු, තමා සේවය කළ නැව්වල නම් ගැන ද, නොයෙක් නොයෙක් සේවාවන්වල නම් ගැන ද කීවේ ය. ඔහු මැගලන් සමුද්‍රසන්ධිය හරහා යාත්‍රා කර තිබූ අතර, භයංකර පැටගෝනියානුවරුන් ගැන කතන්දර ද ඇය හමුවේ පැවසී ය. ඔහු, පදිංචිය සඳහා බුවනෝස් එයර්ස් තෝරාගෙන සිටියේ යැයි ඇය හමුවේ පැවසූ අතර, ඔහු උපන් රටට ඔහු පැමිණ තිබුණේ නිවාඩුවක් ගත කිරීම සඳහා පමණක් බව ද කීවේ ය. මෙම සම්බන්ධය පිළිබඳ ව ඇගේ පියාට ආරංචි වී තිබූ අතර, ඔහු හා වචනයකුදු දෙඩීමට ඇයට තහංචි දැමූ ඔහු, ඇයට සම්බන්ධය නවත්වන ලෙසට ද බල කර තිබිණි.


“මං ඔය සේලර හාදයො ගැන දන්නවා,” කියා ඔහු පැවසී ය.


එක් වතාවක් ඔහු ෆ්‍රෑන්ක් හා සණ්ඩු වී ද තිබූ අතර, ඉන් පසු ඇයට ඇගේ පෙම්බරා ව හමුවන්නට සිදු වූයේ හොර රහසේ ම ය.


සැඳෑව, තව තවත් මාවත ගිලගති. ඇගේ උකුළ මත වූ ලිපි දෙක, අඳුනාගන්නට නොහුණු තත්ත්වය ට පත් විය. ඇය එකක් ලියා තිබුණේ හැරීට ය; අනෙක ඇගේ පියාට ය. ඇය වඩාත් ම ප්‍රිය කළේ අර්නස්ට් ට වුවත්, ඇය හැරී ද ප්‍රිය කළා ය. ඇගේ පියා කෙමෙන් කෙමෙන් වියපත් වන බව ඇය දුටුවා ය; ඔහුට ඇය නැති පාළුව දැනෙනු ඇත. සමහර අවස්ථාවන්වල දී ඔහු සැබැවින් ම යහපත් අයෙක් විය. නොබෝ කලකට ඉහත දී, ඇය අසනීප වූ අවස්ථාවක, ඇගේ පියා ඇයට ඇසෙන පරිදි හොල්මන් කතාවක් කියවා, ගිනි උදුනෙන් ඇයට පාන් ටෝස්ට් සාදා දුන්නේ ය. ඇගේ මව ජීවතුන් අතර සිටි තවත් දිනෙක, ඔවුන් සියල්ලෝ ම හවුත් කන්දට පික්නික් චාරිකාවක යෙදුණෝ ය. එක් අවස්ථාවක, ඇගේ පියා, ඇගේ මව හිස පැළැඳි බොනට්ටුව, ඔහුගේ හිසේ පැළඳගෙන ළමුන් හිනැස්සවූ අයුරු, ඇගේ මතකයට නැඟිණි.


ඇයට අද දින ඉතිරි ව තිබූ කාලය අඩු වන්නට පටන් ගෙන තිබුණත්, ඇය, සිය හිස ජනෙල් තිරවලට හේත්තු කරගෙන ම, එම ඝනකම් තිරවල වූ දුහුවිලිවල දුගඳ ආශ්වාස කරමින් එතැන රැඳී සිටියා ය. මාවතේ ඈතට ම වන්නට, කවුදෝ ජංගම ඕගනයක් වාදනය කරන අයුරු ඇයට ඇසිණි. ඇය ඒ තාලය දැන සිටියා ය. ඇය සිය මවට වූ පොරොන්දුව, ඇයට පුළුවන්තාක් කල් ගෙදර වැඩකටයුතු එකක් නෑර සිදු කරන බවට ඇය මවට වූ එම පොරොන්දුව, මේ රැයේ ම ඇගේ මතකයට නැඟීම අරුමයක් ම ය. ඇයට ඇගේ මව අසනීප ව කල් ගෙවූ අවසන් රාත්‍රිය මතක් විය; එම රාත්‍රියෙහි ඇය, සාලයේ අනෙක් පස වූ එළිය හරිහැටි නොමැති, යාබද කාමරයක සිටි අතර, එළියෙන් ඇයට ශෝකී ඉතාලි සංගීතයක් ඇසිණි. ඕගන් වාදකයා ට පැන්ස හයක් ලබා දී, එතැනින් පිට ව යන ලෙසට නියෝග කෙරිණි. ඇගේ පියා, “කාලකණ්ණි ඉතාලිකාරයො! මෙහෙටත් ඇවිත්!” යනුවෙන් කියමින්, අහංකාර ලීලාවෙන් මෙන් ඇගේ මව සිටි ගිලන් කාමරයට ගිය ආකාරය, ඇයට මතක් විය.


ඇය කල්පනා කරමින් උන් වේලේ, ඇගේ මවගේ ජීවිතයේ – සුළු සුළු කැපකිරීම්වලින් පිරි ඇය ගෙවූ, උමතුවකින් අවසන් වූ ඒ දිවියේ අවසන් මොහොත, ඇගේ මනැසේ දර්ශනය වූ පසු, එය ඇයට එක්තරා මන්තරයක් මෙන් බලපෑම් කළේ ය. ඇගේ මවගේ කටහඬ, නොනවත්වා ම සිහි විකල්ලෙන්, “Derevaun Seraun! Derevaun Seraun!”1 යනුවෙන් දෙඩවූ අයුරු නැවතත් ඇසෙද්දී, ඇය වෙවුලන්නට වූවා ය.


එක්වර ම ඇති වූ හදිසි භීතිය නිසාවෙන් බියට පත් ව, ඈ නැගිට්ටා ය. පැන යා යුතු ය! ඇය පැන යා යුතු ම ය! ෆ්‍රෑන්ක් ඇය ව බේරාගනීවි. ඔහු ඇයට නැති ජීවිතය පමණක් නොව, ආදරය පවා ඇයට ලබා දේවි. නමුත්, ඇයට ජීවත් වන්නට අවැසි විය. ඇය මෙලෙස අසතුටින් දිවි ගෙවිය යුත්තේ ඇයි? ඇයට සතුටින් සිටින්නට අයිතියක් තිබිණි. ෆ්‍රෑන්ක් ඇය ව ඔහුගේ දෑතට මැදි කොට, ඇය තුරුල්ලට ගනීවි. ඔහු ඇය ව බේරා ගනීවි.


නෝත් වෝල් හි තොටුපළේ හෙමි හෙමින් චලනය වන සෙනඟ ට මැදි ව එව්ලින් සිටියා ය. ඔහු, ඇගේ සුරතින් අල්ලාගෙන සිටි අතර, ඔහු තමාට කතා කරන බව, මුහුදු ගමන ගැන මොනවා දෝ දෙඩූ වග, ඇය දැන උන්නා ය. දුඹුරු පැහැ මළු අතැති සොල්දාදුවන්ගෙන් තොටුපළ පිරී තිබිණි. තොටුපළේ පැවති මඩුවල විවර ව පැවති පෘථුල ද්වාර අතරින්, දීප්තිමත් කවුළු තිබූ, තොටුමළු බිත්තියට පසෙකින් තිබූ කුඩා නැවේ කළු පැහැ කොටස ඇගේ නෙතට දර්ශනය විණි. ඔහු කී දෑට ඈ පිළිවදන් කිසිවක් නුදුන්නා ය. ඇගේ කොපුල් සුදුමැලි ව, ශීතල ව යනු ඇයට දැනුණු අතර, පැටලිලි සහගත, කලබල වූ සිතකින් යුතු ව, ඇය, තමා කර යුත්තේ කුමක්දැයි කියා පෙන්වන්නැයි කියා, තමාව නිවැරදි මාර්ගයට යොමු කරන්නැයි කියා දෙවියන්ට යාඥා කළා ය. කුඩා නැව, එය වටකරගෙන සිටි මීදුමට දිගු, දුක්මුසු, නළා හඬක් පිට කළේ ය. අද ඇය පිට වුවහොත්, හෙට වෙද්දී ඇය බුවනෝස් එයර්ස් බලා යන යාත්‍රාවේ ෆ්‍රෑන්ක් සමඟ මහ සයුර මැද සිටීවි. ඔවුන් සඳහා අසුන් දැනටමත් වෙන් කරගෙන තිබිණි. ඔහු ඇය වෙනුවෙන් මෙතරම් දේවල් කරාට පසුවත්, ඇයට පසු බෑ හැකි ද? ඇගේ සිතෙහි හටගත් වියවුල් බව, ඇය විවම්සායී තත්ත්වයකට පත් කළ අතර, ඇය දෙතොල චලනය කරමින්, හඬක් නොනැගෙන අයුරින්, වඩ වඩාත් වේගවත් ව යාච්ඥා කරන්නට වී.


ඇගේ හදෙහි සීනුවක් නද දෙන්නාක් මෙන් ඇයට දැනිණි. ඔහු ඇගේ අතින් අදිනු ඇයට දැනිණි.


“එන්න!”


දැන් ඇගේ හදවත, ලෝකයේ ඇති සියලුම මහ සයුරුවල ජලයේ රළ පහරට හසු ව ඇත්තාක් මෙනි. ඔහු ඇයව අදිනුයේ ඒ රළ පහර දෙසට ය; ඔහු ඇය ව ගිල්ලනු ඇත. ඇය දෑතින් යකඩ වැට බදා ගත්තා ය.


“එන්න!”


බෑ! බෑ! බෑ! එවන්නක් කරන්නට ඇයට හැකියාවක් නැත. ඇගේ දෑත වඩ වඩාත් යකඩ වැට බදා සිටියේ ය. මූදු රළේ හඬ අතරින්, සන්තාපයෙන් පිරි හඬක් ඈ පිට කළා ය!


“එව්ලින්! එවී!”


මුර පොල්ල පසු කර දිව ආ ඔහු, තමා හා එන මෙන් ඇයට කෑ ගසා කීවේ ය. ඔහුට නැවතත් පැමිණෙන්නැයි කියා නැවේ සිටි අය කෑ ගැසූ මුත්, ඔහු ඇයට තමා හා එන මෙන් පවසමින් කෑ ගැසීම නතර කළේ නම් නැත. ඇය, අසරණ සතෙකු මෙන් වූ, කිසිඳු හැඟීමක් නොවූ, ඇගේ සුදුමැලි මුහුණ ඔහු දෙසට යොමු කරගෙන සිටියා ය. ආදරය හෝ, ඔහු හඳුනාගත් බවක් හෝ, ඔහුගෙන් සමුගන්නා බවක් හෝ කියැවුණු කිසිඳු සලකුණක් ඇගේ උවනේ නොම වුණේ.


1 – Derevaun Seraun! යන්න තේරුමක් නැති වාක්‍යයක් කියා සමහරු පවසති. සමහරුන් පවසන්නේ එහි දළ පරිවර්තනය The end of pleasure is pain – සොම්නසෙහි අවසානය දොම්නසයි යන්න බව යි.


පරිවර්තනය : කාව්‍ය තත්සර


ree

Comments


bottom of page