top of page

මැක්කා - ජෝන් ඩන්

  • Jan 23, 2024
  • 1 min read

Updated: May 8, 2024

බලව මේ මැක්කා දෙස, වටහාගතහොත් හොඳයි

නුඹ ප්‍රතික්ෂේප කරනා දෙය ඌ තරම් කුඩා බව.

සැපුවේය ඌ මුලින් මා, ඉනික්බිති නුඹ,

සිරුරේ උගෙ දුවයි රුධිරය දෙදෙනගෙම අප;

මෙය පවක් නොවන වග, ලැජ්ජාවක් නොවන බව

සහ නුඹේ පිවිතුරු බව නැසීමක් නොවන වග දනියි නුඹ.

නුඹේ ආලය නොඉල්ලා නුඹේ රුධිරයෙ රසය විඳිනට

අවසර ය මේ මැක්කාට නුඹ ලෙයෙන් කුස පුරවාගෙන ම.

නැත අපගෙ කර්තව්‍යය එතරම් බරපතළ.


එපා මූ මරා ජීවිත තුනක් නැතිකර දමන්න!

උගෙ සිරුර ඇතුළෙ අප දැනටමත් විවාහ වීලා ය.

මැක්කා නුඹ ය; මම ය; අප දෙදෙනගෙම සයනය ය;

අප විවාහය සිදුවන පල්ලිය ය.

විරුද්ධ වුවද අප දෙමවුපියන් සහ නුඹ මෙයට,

සුරක්ෂිත නොවෙද අප මේ මැක්කාගේ අඳුරු, ජීවමාන බිත්ති අතර

අවැසි විය හැකි වුව ද නුඹ හට මගේ පණ නසනට,

ඇතුළත් නොකරනු මූ මරා සිය පණ නසාගැනීමේ පාපය එම ලැයිස්තුවට.

තිදෙනා මැරීමෙන් පව් තුනකි.


ක්‍රෑර, ඉක්මන් නීච ගැහැනියෙ,

මේ අසරණ මැක්කගෙ රුධිරයෙන් දම් පෑ නෙවද නුඹ නියපොතු?

මැක්කා වැරදි නැත කිසිත්,

ඉරුවා පමණකි ඌ රුධිරය නුඹෙන්.

ඌ නැසීමේ ප්‍රීතිය සමරමින් නුඹ

පවසයි ඌ මැරූ පළියට මඳකුදු දුර්වල නොවී ඇති වග, නුඹ සහ මම.

හැබෑවක් තමයි එය, ඉතින් වටහාගනු කෙතරම් මුග්ධ ද කියා නුඹේ බිය.

පිදුවාට නුඹේ නොඉඳුල් බව මා හට, නුඹේ කීර්තියෙන් කියා

නැතිවන්නෙ නුඹ හට, මැක්කා මැරීමෙන් නැති වූ පණ ටික ම ය.


පරිවර්තනය : කාව්‍ය තත්සර



Comments


bottom of page