හජ්ජි මොරාඩ් - සඩෙග් හිදායත්
- Kavya Thathsara
- Jan 25, 2024
- 8 min read
හජ්ජි මොරාඩ්, සිය වෙළඳසැලෙහි ඉස්තෝප්පුවෙන් පිටතට පැන, සිය චෝලයේ තිබූ නැමුම් දෑතින් එකට එක්කොට, සිය රිදී බඳපටිය තදකොට, හෙනාවලින් වර්ණ ගැන්වී තිබූ සිය රැවුල පිරිමැද, සිය ගෝලයා වූ හසාන් හට අඬගැසී ය. එකට එක් ව ඔවුහු වෙළඳසැල වසා දැමූහ. සිය ඇඳුමෙහි වූ සුවිසල් සාක්කුවෙන් රියාල් පිටතට අදිමින් හජ්ජි, හසාන් හට රියාල් හතරක් දුන් අතර, උරුවම් බාමින්, දිගු අඩි තබමින්, හසාන් සෙනඟ අතරට වැදී අතුරුදන් වුණි. හජ්ජි, සිය සුරතට තද ව තිබූ කහ කබාය පැළඳගෙන, වටපිටාව බලා, හෙමින් ඇවිදින්නට විය. ඔහු තබන සෑම අඩියක් පාසාම ඔහුගේ අලුත් සපත්තුවලින් චර බර ශබ්දයක් නැඟුණි. ඔහු ඇවිද යන මඟ සිටි බොහෝ කඩකාරයෝ ඔහුට "සලාම් හජ්ජි; කොහොමද, හජ්ජි? කාලෙකින් දැක්කෙ, හජ්ජි!" යි කියමින් ආචාර කළහ.
හජ්ජිට මෙම ආචාර අතීතයේ ඇසී තිබුණ ද, හජ්ජි යන වචනයට ඔහු විශේෂ වැදගත්කමක් එක්කාසු කළේ ය. හෙතෙම තමා ගැන ම ආඩම්බරයෙන් සිටි අතර, තම සගයන්ගේ ආචාර කිරීම්වලට උදාර සිනහවකින් පිළිතුරු දුනි.
'හජ්ජි' යන වචනය පට්ටමකට සමාන වූ නමුත්, තමා මක්කමට ගොසින් තිබුණේ නැතැයි කියා හජ්ජි දැන හිනි. සත්‍යවශයෙන් ම, ඔහු දරුවෙකු ව සිටි අවධියෙහි දී ඔහුගේ පියා මිය පරළොව ගිය අතර, ඔහුගේ මව, ඇගේ සැමියා ගේ අන්තිම කැමති පත්‍රය අනුව ඔවුන්ගේ නිවස ඔවුන්ගේ අනෙකුත් දේපළ සමඟින් රන් කාසි සඳහා විකුණා, ඉන්පසු, ඇය මුළු පවුලම සමඟින් කර්බලාව කරා ගියා ය.
වසරක් දෙකක් ගත වන තැන, මුදල් සියල්ල ම වියදම් ව ගොස්, පවුලට සිදු වූයේ සිඟන්නට ය. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ හජ්ජි පමණක් තනිව ම හමාදාන් හි සිටි සිය මාමා කෙරේ යන්නට සමත් වූ අතර, ඔහුගේ හදිසි මරණය හමුවේ හජ්ජි අහඹුලාභයක් ලැබී. තනි උරුමක්කාරයා ඔහු වූ නිසා, ඔහුගේ මාමා ගේ 'හජ්ජි' පට්ටම සහ වෙළඳසැල ඔහුට අයිති වුණි.
අලුත් හජ්ජිතුමා බිරියක ගෙන තිබුණ ද ඔහු සිටියේ ඇය ගැන පැහැදීමකින් නොවේ. යම් කාලයක් තිස්සේ ම ඔවුහු සණ්ඩු කරමින් සිටියහ. මොනවා ඉවසුවත් හජ්ජි ට ඉවසා දරාගෙන සිටීමට නොහැකි වූයේ ඇගේ ඇනුම්පද ය; ඊට ප්‍රතිචාර ලෙස සහ තම ආධිපත්‍යය රැක ගන්නට කියා ඔහු ඇයට තඩි බාන්නට පටන් ගෙන තිබුණි. සමහර අවස්ථාවන්වල දී ඇයට පහර දීම පිළිබඳ ව ඔහු පසුතැවුණ ද, ඒ සෑම අවස්ථාවක දී ම ඔවුහු සිප - වැළඳ එය අමතක කර දමති.
හජ්ජි ව වඩාත් කුපිත කරවූයේ ඔවුනට තවමත් දරුවන් නොසිටීම ය. හජ්ජි ගේ මිතුරන් ඔහුට දෙවැනි බිරියක් කරකාරගන්නැයි කියා පැවසුව ද, ඔහු මේ උගුලට හසු වූයේ නැති. දෙවැනි බිරියක් ගැනීමෙන් වෙන්නේ තම අවාසනාවේ මහත තවත් වැඩි වීම පමණකැයි කියා ඔහු දැන හිනි. ඒ නිසා ඔහු කළේ ඔවුන්ගේ උපදෙස්වලට මේ කණෙන් ඇහුම්කන් දී අනෙක් කණෙන් ඒවා පිට කර දැමීම යි. ඔහුගේ බිරිඳ තවමත් තරුණ සහ ප්‍රියමනාප වූවා ය. වසර කිහිපයක් විවාහ වී සිටීම මඟින් ඔවුන් ඔවුන්ගේ ජීවිත ගමන තරමක් පහසු කරවූ අන්දමේ ඇඟෑලුම්කමක් ළඟා කරගෙන තිබුණි. හජ්ජි ද තවමත් තරුණ ය. දෙවියන් ගේ කැමැත්තක් වූයේ නම් ඔහු ඔවුනට දරුවෙකු ලබාදෙනු ඇතැයි කියා හජ්ජි සිතී ය. ඒ නිසා සිය බිරිඳ ව දික්කසාද කිරීමේ අදහසට හජ්ජි නැඹුරු වී සිටියේ නැත. එපරිද්දෙන් ම ඔහුට ඔහු සතු වූ ඇයට පහර දීමේ පුරුද්ද ද අතහැරීමට නොහැකි විය; ඔහු ඇයට පහර දුන් විට ඇය තව තවත් හිතුවක්කාර වන්නී ය, කෙටියෙන් ම කිවතොත්, ඊයේ රාත්‍රියේ පටන් ඔවුන'තර තිබූ ඝට්ටනය තවත් වැඩි වී තිබුණි.
පැණි කොමඩු ඇට සිය මුව තුළට හලාගනිමින්, ඒවායේ පොතු තමා ඉදිරිපිට වූ පොළොවට විසි කරමින්, හජ්ජි කඩමණ්ඩියේ පිවිසුම අසළට පැමිණියේ ය. ඔහු වසන්තයේ නැවුම් වාතය ආශ්වාස කොට, නිවසට ගිය පසු තමාට මුහුණ දෙන්නට සිදු වන්නේ කුමකටදැයි කියා සිතී ය - පළමුකොට ම ඔහුගේ බිරිඳ සමඟ ඇති වන හුරුපුරුදු අඬ දබරය ය: ඔහු අවකැපෙන යමක් පවසනු ඇත, ඇය ඊට එකට එක කියනු ඇත, පහර දීමට පසු රෑ කෑම වේල උදාවනු ඇත; ඉන්පසු එකිනෙකා දෙසට බැලුම් හෙළූ පසු අන්තිමේට ම නින්දට යන වේලාව උදාවනු ඇත. මේ බ්‍රහස්පතින්දා හැන්දෑව වූ නිසාවෙන් ඇය සබ්සි පිලව් උයන්නට ඇත.
ඔහු වට පිට බලද්දී ඔහුගේ මනසේ වූයේ මෙම සිතිවිලි ය. ඔහුට ඇගේ බිරිඳ පැවසූ දෑ එම වචනවලින් ම නැවතත් මතකයට නැඟුණි. "යනව යන්න බොරුකාර හජ්ජියා! තමුසෙ හජ්ජි කෙනෙක් නං, තමුසෙගෙ සහෝදරියි අම්මයි කර්බලාවල හිඟන්නොන්ටත් අන්ත වුණේ කොහොමද? ඇයි මං! මං බොරුකාර හජ්ජියෙක් වුණු තමුසෙව කසාද බැන්දෙ සල්ලි පොලියට දෙන මෂ්දි හුසේන් ට බෑ කියලා!" ඔහුට මෙය මතකයට නැඟුණු අතර, ඔහු සිය තොල කිහිපවතාවක් ම සැපී ය. මෙවේලේ මෙතැන තම බිරිඳ හමු වුවහොත් ඇගේ උදරය කෑලිවලට කපා දමන්නේ යැයි කියා ඔහුට සිතී ය.
ඔහු මෙසපොතේමියා නම් මාවතට ළඟා වී තිබුණි. ගං ඉවුරේ වූ කොළ පැහැති විලෝ ගස් දෙසට ඔහු බැලුම් හෙළූ අතර, මුරාද් බෙක් මිටියාවතට වී සිකුරාදා තම මිතුරන් වෙනුවෙන් සංගීතය නාද කරමින්, ඔවුන්ට හොඳින් සළකන්නට ඔහු ඉටාගත්තේ ය. අඩුම තරමේ මෙමඟින් ඔහුට නිවසේ ඉන්නට සිදුවන්නේ නැත; එවැන්නක් සිදු වුවහොත් එය ඔහුටත්, ඔහුගේ බිරිඳටත් අප්‍රසන්න අත්දැකීමක් වනු ඇත.
ඔහු, ඔහුගේ නිවස දෙසට යෙදී තිබූ පටු මඟ දෙසට ළඟා වූ අතර, හදිසියේ ම ඔහුට සිතුණේ ඔහු දෙසවත් නොබලා ඔහු පසුකොට ඔහුගේ බිරිඳ ගමන්ගත්තා යැයි කියා ය. ඒ ගියේ ඔහුගේ බිරිඳ ම ය. හජ්ජි, වේල්පටින් වැසීගෙන සිටින ගැහැනුන් හඳුනාගත හැකි බොහෝ පිරිමින් මෙන් නොවුණ ද, ඔහුගේ බිරිඳ සුවිශේෂ ලකුණක් දැරූ හෙයින් හජ්ජි ට ගැහැනුන් දහසක් අතරේ වුවත් තම බිරිඳ සොයාගත හැකි විය. ඒ ඔහුගේ බිරිඳ ය. ඇගේ වේල්පටේ සුදු පැහැ දාරය ඔහු හඳුනාගත්තේ ය. ආයෙ එහි දෙකක් නැත. හජ්ජි ගේ සිත පෙළූ දෙය වූයේ මේ අවේලාවේ ඇය නිවසින් පිට වීම ය; ඒ ද ඔහුගේ අවසරය නොමැතිව ය! ඇය මේ ඔහු බලන්නට වෙළඳසැලට යනවා විය නොහැක; ඇය මේ යමින් සිටියේ කොහාට ද? හජ්ජි වේගයෙන් පියවර තැබී ය. මේ නම් ඔහුගේ බිරිඳ ම ය. කෙසේ හෝ ඇය පෙර යමින් සිටියේ නිවස බලා කියා සිතුවේ නම්, දැන් දැන් ඈ මේ යන්නේ ද වැරදි දිශාවට ය. දැන් ඔහුගේ කේන්තිය ඉහවහා ගොස් තිබුණි. තවත් ඔහුට තමාව පාලනය කරගැනීමට හැකියාවක් තිබුණේ නැත. ඔහුට ඇය අල්ලා, ඇගේ ගෙළ මිරිකන්නට සිත් වුණි. තමා පාලනය කරගත නොහී, ඔහු "ෂාර්භානු!" කියා කෑ ගැසී ය.
ගැහැනිය සිය හිස හැරවූ අතර, බියට පත් වූවා සේ තබන අඩිවල වේගය වැඩි කළා ය. හජ්ජි ට යකා වැහුණි. ඔහුගේ අවසරය නොමැති ව ඇය නිවසින් පිටතට ගමන් ගත්තා පමණක් නොව, දැන් ඔහු ඇයට අමතද්දී ඇය ඔහුට මඳක්වත් අවධානය යොමු කරන්නේ ද නැත! මෙය ඔහුව තවත් කෝප ගැන්වී ය. නැවතත් ඔහු, "ඒයි! මං කතා කරන්නෙ තමුසෙට. මේ වෙලාවෙ තමුසෙ ඔය කොහෙද යන්නෙ? නැවතිලා මං කියන දේට ඇහුම්කන් දෙනවා!" කියා පැවසී ය.
ගැහැනිය නැවතී, "ඒකෙන් තමුසෙට වැඩක් නෑනෙ. බූරුවා, තමුසෙ දන්නවද තමුසෙ ඔය දොඩවන්නෙ මොනවද කියලා? තව මිනිහෙක්ගෙ ගෑනියෙක් ගැන තමුසෙ ඇයි ඔය හැටි වදවෙන්නෙ? ඉන්නව තමුසෙට කරන්න හොඳ වැඩක්. උදව් කරන්න! උදව් කරන්න! මේ බේබද්දගෙන් මාව බේරගන්න. ඔහේ හිතන්නෙ මේ නගරෙ නීති කියලා දෙයක් නැහැ කියල ද? මං මේ දැන් ම තමුසෙව පොලීසියට භාර දෙනවා. පොලිස්!" කියා කෑගැසුවා ය.
නිවාසවල පිවිසුම් දොරටු එක බැගින් එක විවර වුණි. ඔවුන් වටා මිනිසුන් එක් රැස් වූ අතර, සෙනඟ ක්‍රමිකව විශාල විය. හජ්ජි ගේ මුහුණ රතු විය. ඔහුගේ නළලෙහි සහ ගෙළෙහි වූ නහරවැල් ඉල්පී තිබුණි. කඩමණ්ඩියේ අය ඔහුව හොඳින් දනිති. ඔවුන් නරඹන්නට සෙනඟ එකතු වී තිබූ අතර, තම මුහුණ වසාගෙන තිබූ වේල්පට කිටි කිටියේ අල්ලාගෙන සිටි කත, "පොලිස්!" කියමින් කෑ ගසමින් සිටියා ය.
හජ්ජිගේ දෑස ඉදිරියේ තිබූ සෑම දෙය ම අඳුරු විය. ඉන්පසු ඔහු අඩියක් පසුපසට තබා, ඉක්බිති අඩියක් ඉදිරියට ගෙන ඇගේ වේල්පටින් වැසුණු මුහුණට තදින් කම්මුල් පහරක් එල්ල කොට, මෙසේ පැවසී ය: "උඹේ කටහඬ වෙනස් කරන්න එපා. මට මුල ඉඳලම උඹව අඳුනගත්තා. හෙට ම . . . මේ හෙට ම මං උඹව දික්කසාද කරනවා. දැන් උඹ මගේ අවසරයක් නැතුව ගෙදරින් පිටවෙන්නත් අරන් ද? උඹට ඕනෙ මගේ මූණෙ දැලි ගාන්න ද? ලැජ්ජාවක් නැති ගෑනියේ, මේ මිනිස්සු ඉස්සරහ මීට වඩා දෙයක් මට කියන්න වෙන තැනට වැඩ සිද්ධ කරන්න එපා. මේ සිද්ධියට මේ මිනිස්සුත් සාක්කි යි. මම මේ ගෑනිව හෙට ම දික්කසාද කරනවා - මට ටික කාලෙක ඉඳන් මේ ගෑනි ගැන සැකයක් තිබුණා, ඒත් මම හැම වෙලේක ම මාව පාලනය කරගත්තා. තවත් නං ඉවසන් ඉන්න බෑ. මගේ ගෑනි මගේ නම්බුව නැති කරලා දැම්මා, ඒකට මේ මිනිස්සු සාක්කි. හෙට ම . . . මම උඹව හෙට ම . . ."
මිනිසුන්ට මුහුණ ලා සිටි කත, "තොපි මහ බයගුල්ලෝ! ඇයි උඹලා මුකුත් නොකියන්නෙ? මේ කමකට නැති මිනිහට වෙන මනුස්සෙයෙක් ගෙ ගෑනිට අත තියන්න උඹලා ඉඩ දුන්නා. සල්ලි පොලියට දෙන මෂ්දි හුසේන් මෙතන හිටිය නං උඹල ඔක්කොම කම්මුතු යි. මගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙන්නෙ තව එක දවසයි නං මං කරන්නෙ මිනිහෙක් වෙලා ඉපදෙන්නෙ නැතුව බල්ලෙක් වෙලා ඉපදුණානං හරි කියලා මූට හිතෙන්න මුගෙන් පලි ගන්න එක. මේ මිනිහට තමන්ගෙ වැඩක් බලාගන්නෙයි කියන්න පුළුවන් එකෙක් නැද්ද මෙතන? මේ වගේ සතෙක් ඇයි මිනිස්සු ආස්සරේ කරන්නෙ? පලයන් යන්න. තමුන් මේ සෙල්ලං කරන්නෙ කා එක්ක ද කියලා දැනන් හිටියොත් හොඳයි. දැන් නං මං උඹට හොඳ වැඩක් කරනවා. පොලීස්! . . ." යි පැවසුවා ය.
සණ්ඩුව සමථයට පත් කරන්නෝ දෙතුන්දෙනෙක් පැමිණ, හජ්ජි ව පැත්තකට ගෙන ගියහ. මේ අවස්ථාවේ දී පොලිස් නිලධාරියෙක් පැමිණියේ ය. මිනිස්සු පිටුපසට යන්නට පටන් ගත්හ. සණ්ඩුව සමථයට පත් කළ අය, එතැන සිටි ඇසින් දුටු සාක්කිකරුවන් කිහිපදෙනෙක් සමඟින් හජ්ජි සහ සුදු වේල්පටකින් මුහුණ වසා සිටි ගැහැනිය පොලිස් මූලස්ථානයට ගමන් ගත්හ. කුමක් වේ දැයි නරඹන්නට මිනිසුන් ඔවුන් පසුපස වැටුණි. දහදියෙන් සියොලඟ ම තෙත් ව සිටි හජ්ජි, මිනිසුන්ට ඉදිරියෙන් ගමන් ගත් පොලිස් භටයාට පසෙකින් ගමන් ගත් අතර, දැන් දැන් ඔහු සිතේ කුකුසක් ඇති වෙමින් තිබුණි. පෙරට වඩා ප්‍රවේශමෙන් ගැහැනිය දෙස බැලූ විට ඇගේ ගාංචු අල්ලා තිබූ පාවහන් සහ ඇගේ මේස් කකුල් තම බිරිඳගේ පාවහන්වලට සහ මේස් කකුල්වලට වඩා වෙනස් බව හජ්ජිට වැටහුණි. ඇය පොලිස් නිලධාරියාට පෙන්වූ හැඳුනුම්පතෙහි ද වරදක් වූයේ නැති. ඇය, ඔහු හොඳින් දන්නා මෂ්දි හුසේන් නම් මුදල් පොලියට දෙන්නා ගේ බිරින්දෑ ය. තමා වරදක් කර ඇතැයි කියා ඔහුට වැටහුණ ද, එය ඔහුට වැටහුණේ බොහෝ ප්‍රමාද වී ලා ය. තමාට දැන් කුමක් වේ දැයි කියා ඔහු දැන සිටියේ නැත. ඔවුන් පොලිස් මූලස්ථානය තුළට ගිය විට මිනිස්සු පිටත රැඳී සිටියහ. පොලිස් භටයා හජ්ජිව සහ ගැහැනියව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේසයකට පසුපසින් හිඳ සිටි කාමරයක් තුළට රැගෙන ගියේ ය. පොලිස් භටයා ඔවුනට ආචාර කොට, සිදු ව ඇති දෙය පවසා, කාමරයේ ඈතින් ම පිහිටි දොර අසළට ගොසින් සිට ගත්තේ ය. පොලිස් ප්‍රධානියා හජ්ජි දෙසට හැරී මෙසේ ඇසී:
"තමුන්ගෙ නම කොහොමද?"
"සර්, මම තමුන්නාන්සෙගෙ අතවැසියෙක් - කමකට නැති එකෙක්. මගේ නම හජ්ජි මොරාඩ්. කඩමණ්ඩියේ හැමෝම මාව දන්නවා."
"තමුන්ගෙ රස්සාව?"
"මම හාල් වෙළෙන්දෙක්. කඩමණ්ඩියෙ මට කඩයක් තියෙනවා. මං තමුන්නාන්සෙ කියන ඕනෙම දෙයක් කරන්නං."
"තමුන් මේ නෝනට මහ පාරෙ අවනම්බු කරලා අත උස්සලත් තියෙනව කියන්නෙ ඇත්ත ද?"
"මං කියල මොනවා කියන්න ද? මං හිතුවෙ මේ මගේ ගෑනි කියලා."
"ඇයි තමුන් එහෙම හිතුවෙ?"
"මගේ ගෑනිගෙ වේල් එකේ සුදු පාට වාටියක් තියෙනවා."
"ඒක හරි අමුතු කතාවක්. ඇයි තමුන් තමුන්ගෙ ගෙදර උන්දැගෙ කටහඬ අඳුන්නන්නෙ නැද්ද?"
හජ්ජි සුසුම් ලෑවේ ය. "තමුන්නාන්සෙ දන්නෙ නෑ නොවැ මගේ ගෑනි කොහොම කරදරකාර එකියක් ද කියලා. මගේ ගෑනි හැම සතෙක්ගෙම සද්ද ඒ විදිහට ම පිට කරනවා. පොදු නානකාමරෙන් නාලා ඇවිත් ඒකි කරන්නෙ අනිත් ගෑනුන්ගෙ කටහඬවල්වලින් කතා කරන එක. උන්දැ හැමෝම වගේ රඟපානවා. මං හිතුවෙ කටහඬ වෙනස් කරලා ඒකිට මාව රවට්ටන්න ඕනෙ වුණා ය කියලා."
"මොන ලැජ්ජා නැතිකමක් ද මේ," ගැහැනිය පැවසී ය. "සර්, ඔබතුමා මේක ඇහින් දැක්කා. මේකා පාර මැද්දෙ දෙනෝදාහක් මැද්දෙ මට ගැහැව්වා. දැන් එක පාරටම මුන්දැ නිකන් ගලේ පහරපු බළලා වගේ. මොන ලැජ්ජා නැතිකමක් ද! මේකා හිතාන ඉන්නෙ මේ නගරේ නීති නැතැයි කියලා. මෂ්දි හුසේන් ට මේක ආරංචි වුණා නං තමුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම ලැබෙනවා. මේකා මේ අත තිබ්බෙ ඒ මනුස්සයගෙ නෝනට මහත්තයො."
පොලිස් නිලධාරියා, "හොඳයි නෝනා. අපිට ඔබතුමිය තවදුරටත් මෙතනට ඕනෙ නැහැ. අපි මොරාඩ් මහත්තයා ගැන බලාගන්න කල් කරුණාකරලා එළියෙන් ඉන්න." යනුවෙන් පැවසී ය.
හජ්ජි, "දෙයියනේ, මගේ අතින් වැරැද්දක් වුණා. මං ඒ බව දැනන් උන්නෙ නැහැ. ඒක වැරැද්දක්. මට ආරක්සා කරගන්න ප්‍රතිරූපයක් තියෙනවා." කියා පැවසී ය.
පොලිස් නිලධාරියා යමක් කුරුටු ගා, පොලිස් භටයා හට ලබා දුනි. ඔහු හජ්ජි ව වෙනත් මේසයක් කරා කැටුව ගියේ ය. තමාට ලැබුණු දඩය වෙනුවෙන් ලබා දෙනු පිණිස හජ්ජි වෙවුළන දෑතින් මුදල් නෝට්ටු ගැණ, ඒවා මේසය මත තැබී ය. ඉන්පසු, පොලිස් භටයා ඔහුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට ට ගෙන ගියේ ය. පෝලිම් ගැසී සිටි මිනිස්සු පහත් හඬින් එකිනෙකාට මුමුණමින් සිටියෝ ය. ඔවුන් හජ්ජිගේ දෙවුරහිසින් කහ පැහැ කබාය ගළවා දැමූ අතර, කසයක් අතින් ගත් මිනිසෙක් ඉදිරියට පැමිණ ඔහු පසෙකින් හිට ගති. ලැජ්ජාබරිත ව හජ්ජි ඔහුගේ හිස පහතට කොට තබාගෙන සිටි අතර, සෙනඟ මැද ඔවුහු ඔහුට කස පහර පනහක් එල්ල කළ නමුදු, ඔහු දශමෙකුදු සෙළවුණේ නැති. කස පහර එල්ල කිරීම අවසන් වූ පසු ඔහු විශාල සිල්ක් ලේන්සුවක් ගෙන, සිය නළල් තලයේ කැටි ව තිබූ දහදිය පිස දැමී ය. ඔහු කහ කබාය දෑතට ගෙන, එය සිය දෙවුරහිසට උඩින් පටලවාගත්තේ ය. එහි නැමුම් පොළොව දිගේ ඇදී යන්නට විය. පහතට බර කොටගත් හිසින් යුතු ව, ඔහු නිවස බලා ඇදුණු අතර, සිය සපත්තුවෙහි චර - බර හඬ ඇසෙනු වළක්වාලනු වස්, තම පය වඩාත් ප්‍රවේශමෙන් තබන්නට හෙතෙම තැත් කළේ ය.
දෙදිනකට පසු, හජ්ජි සිය බිරිඳ දික්කසාද කළේ ය.
ඉංග්‍රීසි පරිවර්තනය: Deborah Miller Mostaghel
සිංහල පරිවර්තනය: කාව්‍ය තත්සර



Comments