පතිවත නොරකින පතිනිය - ෆෙඩ්‍රිකෝ ගාෂියා ලෝකා
- Feb 13, 2025
- 2 min read
නොදැන සැමියෙකුගෙ වූ වගක්,
සිතා ඇය නොඉඳුලියකැ යි
නදිය වෙත ගියෙමි මම, ඇය කැටුව.
ජුලි මහේ හතරවැනි සිකුරු දොහේ
පැවරුණු රාජකාරියක් සපුරන්නහේ.
වීථි ලාම්පු අන්තරස්දාන වන්නෙ ය හෙමි හෙමින්
රැහැයි ජය ඝෝෂා නැඟ එන්නෙ ය හෙමි හෙමින්.
ටවුමේ අන්තිම වංගුවේ දී
පහස වින්දෙමි මම ඇගේ නිදිගත් පයෝධර ද්වයේ;
එකෙණෙහි පිබිදී ගියෙ ය ඒවා මා ඉදිරිපිට
හයිසින්ත් මල් මිටෙක අග්ගිසි සේ.
කැඳෙහි ගිල්වනු ලැබූ ඇගේ යටසාය
සර සර ගෑයේ ය
පිහිතුඩු දුසිමකගෙ ඇනුම් කන ලද සිල්ක් රෙද්දක් සේ
කලදෝ පැහැගත් රස්මි වළල්ල උනා ලා තිබු පයින් තුරු
වැඩුණේ ය හෙමි හෙමින්, හෙමි හෙමින්.
උඩි බිරලූයේ ය, නදියට දුර ඈතින් හිඳ, නොනැවති ම නොනැවතිම
ක්ෂිතිජයක් සේ දිසුණ බලු රංචුව.
රට ඇඹිල්ලා, පන් සහ
හෝතෝර්න් පඳුරුවලට එහායින්
ඇගේ අපිළිවෙල කෙහෙ පොදියට පහතින්
සෑරීමි කුඩා කුහරයක් වැල්ලේ.
ගෙලෙන් ගැලවීමි ගෙලවට බැඳි මාලය.
පටි ලිහන්නී ය ඇය ඇගේ හැඳිවතෙහි ඔය අතරමැද.
උනා දමා අහක ලීමි ගිනි අවි කොපුව, එහි වූ ගිනි අවිය;
උනා දැමී ඈ ද ඇගේ සේද යටැ’ඳුම්.
ටියුබරොස් කුසුමන්, සිප්පු කටු
කොයින්ද එතරම් සුමුදු?
වීදුරු බඳුන්, කණ්ණාඩි
කොයින්ද මෑ තරම් උදුල?
ඉගිල්ලී ගියෙ ය
ඇගෙ දෙවටොර මා වෙතින් ඉවතට
බියපත් වූ මත්ස්‍ය ජෝඩුවක් සේ;
සිහිල් ය උන්ගෙන් එකෙකු;
ගිනියම් උණුහුමකි අනෙකා ගේ
එ රැයෙහි හැඟිණ මට
කටකලියාවක්, පාපටියක් නොමැතිව,
මාවත් අතර අත්‍යුත්කෘෂ්ටම මාවතේ
මා ගමන්ගත්තා යි
මුතුබෙලි ධවල පැහැගත් වෙළඹක පිට නැඟ.
මහත්මයෙකු හෙයින් මම
නොකියමි නැවත වරක්
එ රැයෙහි ඈ මට මිමිණූ දෑ.
උදා ඉරු රැස් සේ පැහැදිලි වී ය මට
මුවින් වචනෙකුදු නොදොඩනු මැනවැ යි.
හාදුවලින්, පස් දූලින් ගත කිලිටි ව
නදියෙන් දුරස් වූයෙමි මම, ඇය කැටුව.
තෝමර හැඩැති ලිලී මල්
ඔය අතරතුර යුද්ධයක මද නල සමඟ.
හැසිරුණෙමි මම මා වැනි අහිකුණ්ඨකෙකු
හැසිරෙතැයි ඔබ සිතන සේ.
පිදුවෙමි ඇයට මම සුවිසල් කූඩයක්
පිදුරු පෑ සැටින් සළු රැසකින් පිරීගත්.
ඇය හා ආලයෙන් වෙළෙන්නට
නොවිණ මට අදහසක්.
මන්ද, කීවා ය ඈ මට
නොඉඳුලියකැයි ඇය
සිටියදිත් සැමියෙක්.
කොනර් ඕ කැලැහැන්ගේ සහ ඩේවිඩ් සටන් ගේ ඉංග්‍රීසි පරිවර්තන ඇසුරින් සිංහලට පරිවර්තනය - කාව්‍ය තත්සර



Comments