top of page

මහා කාකයා - එඩ්ගර් ඇලන් පෝ

එක් අඳුරු මූසල මැදියමක, වෙහෙසට පත් ව මෙනෙහි කරමින් සිටිය දි

කාලයේ වැලිතලාවන් හි සැඟව ගිය, ජනශ්‍රැති ගැන ලියැවුණු ගූඨ පැරණි කෘති රැසක් පිළිබඳව,

නිදි කිරා වැටුණෙමි; ඇසුණි මට තට්ටුවක හඬ ඔය අතරමැද

කවරෙකු හෝ එක්වර ම හිමිහිට දොරට එල්ල කරනු ලැබුව

“අමුත්තෙක්, අමුත්තෙක්,” මිමිණුවෙම් මා,”තට්ටු කරනුයෙ නිදන කුටියේ දොරට—

එපමණකි, එපමණකි, වෙනත් කිසිවෙකු නොමැත.”


මතකයෙ රැඳී ඇත සුපැහැදිලි ව ම, සිදු වූයෙ එය මූසල දෙසැම්බරයෙහි දි බව;

ඇන්දේ ය භූතයන් බඳු සෙවණැලි පොළොව මත, නිවී යමින් තිබූ ගිනිඟුරු හැමෙකක් ම

පැතුවෙමි, නොනැවතී උත්සුකව පැතුවෙමි, ගෙවී යාවි’යි මෙ’රැය;—නිෂ්ඵල ව සෙව්වෙමි මම

මගේ පත්පොත්වලින් මේ වියෝදුකට—ම’හැර ගිය ලෙනෝර් ගේ වියෝදුකට සමාප්තිය

සුරඟනනුන් ලෙනෝර් නමින් හඳුන්වන දුලභ, ප්‍රීතිමත් ඈ

මෙ තැන් මතුවට තවත් මෙ ලොවෙහි නොමැත.


සලිත වී ගියෙමි; භීතියකින් මුළු ගතම වෙලුණි

කණ වැකී ශෝකී සරසරය දම් පෑ සේද කඩතුර හැමෙකක ම.

සනසනු පිණිස මාගේ වේගයෙන් ගැසෙන හදවත, මෙ සේ පවසාගතිමි මට ම මම:

“අමුත්තෙකි, අමුත්තෙකි, තට්ටු කරනුයෙ දොරට

මගේ කුටියට ඇතුළු වන්නට සිතාගෙන එ ද

එපමණකි එපමණකි, වෙනත් කිසිවක් නොමැත.”


දැඩි කරගතිමි මම හිත; කල් මරන්නට තවත් නොහැකි ව

“මහත්මයා,” යි කීමි මම, “නැත්නම් නෝනා, කණගාටුයි ඇත්තෙන් ම

පුළුවන් නම් සමාව දෙන්න, කාරණය නම් මෙන්න මෙය ය:

හිටියෙ මම නිදාගෙන; ඔබ තට්ටු කළේ හිමිහිට, මගේ නිදන කුටියේ දොරට.

ඒ හඬ ඇහුණෙ නැහැ මට. කවුරුත් දොරට තට්ටු කළ බවවත් දන්නෙ නැහැ මම”

හැරියෙමි මම දොර—අඳුර ‍පමණක් හැම’ත, වෙනත් කිසිවක් නොමැත.


යොමා අඳුරට දෙඇස, සිටගෙන සිටියෙමි දැඩි ව එ තැන ම, කල්පනාබරිතව, බියපත් ව

සැක සිතක් මවාගෙන, සිතන්නන් සිත් සලිත කරවන සිතුම් සිහි එලවගෙන;

අඳුර නොබිඳිණ; නිසංසලය සංසල කරමින් හඬක් ද නොනැඟිණ.

“ලෙනෝර්” වී ය නිකුත් වූ එක ම වචනය මා මුවින් නිසංසලතාවයට;

“ලෙනෝර්!” රාව ප්‍රතිරාව දිනි වාතාශ්‍රය ද මේ වචනය, පුරවාලමින් ඉන් දසත

මෙය ම පමණකි අවට, වෙනත් කිසිවක් නොමැත.


හැරුණෙමි නැවතත් කුටිය දෙසට, භීතියෙන් ඇවිලුම් කයි මා මුළු ආත්මය ම

එසැණින් ම කණ වැකිණ තව තට්ටුවක හඬ, පෙරට වඩා තරමක් දැඩි ව

“සහතිකේට ම” කීමි මම, “සහතිකේට ම ඔය, මොකක් හෝ වැදෙන හඬ මගෙ ජනෙල් ලැටිසියට;

එහෙනම් ගොසින් එතැනට, බලමු ඇත්තේ කුමක්දැයි එ තැන,

විමසා බලමු ඒ අභිරහස ද මේ දැන් ම; මා ගැහෙන හද සන්සුන් වූ විගස ම;—

සුළඟ පමණක් විය යුතු ය එතැන, වෙනත් කිසිවක් නොමැත.”


හැර දැමූයෙමි ජනෙල් පියන ද මම එවිගස ම; ගසා දමමින් තම පියාපත් ගොඩ වැදිණ

ප්‍රතාපවත් මහ කාකයෙක්, ‍උත්තම යටගිය දවස රජ පෙළපතකට අයත් සේ දිසුණ

ආචාර නොකරන්නේ ය ඌ මට; මඳකුදු නතර ද නොවන්නෙ ය ඌ මා දැක;

එහෙත්, කුලවතෙකු සේ පියා සරා ගොස් ලැගුම් ගත්තෙ ය ඌ මා නිදන කුටියෙහි දොරට ඉහළින්—

ලැඟුම් ගත්තෙ ය ඌ එ මත වූ පල්ලාස් උඩුකය පිළිමය මතින්

ලැඟුම් ගත්තා පමණකි; වෙනත් වෙසෙසක් නොමැත.


ඉක්බිති මෙ තද කළු කාකයා ගේ ගම්භීර, බරපතළ පෙනුම දැක,

සිනහවක් මුහුණෙහි ඇඳී, නැති වී ගියෙ ය මඳකට මගෙ දුක

“කොටට කපා තිබුණ ද උඹෙ කුඩුම්බිය,” මම කීමි, “සහතිකේට ම බියසුල්ලෙකු නෙමෙයි උඹ;

ඝෝරතර, ක්‍රෑරතර, පෞරාණික මහා කාකය ඝනාන්ධකාර අඩවියකින් පැමිණි,

කියනු මැන මට නුඹේ සැබෑ මහේශාක්‍ය නාමය ඒ ප්ලූටෝනියානු අඩවියෙහි!”

තෙපලූයේ ය කාකය, “කවරදාකදු නොහැක.”


අරුතකුදු අදාළත්වයකුදු නොතිබුණ ද ඌ දුන් පිළිතුරෙහි,

බෙහෙවින් ම පුදුමයට පත් වීමි මම, මේ අශෝභන පක්ෂියා මෙ සේ සරලව කතා කරනු දැක;

මන්ද අනිවාර්යයෙන් ම, සහතිකයට ම,

නිදන කුටියෙහි දොර මත හිඳින—එය මතැති උඩුකය පිළිරුවක් මත හිඳින

“කවරදාකුදු නොහැක” වැනි ගූඨ නමක් ඇති සතෙකු හෝ පක්ෂියෙකු දකින්නට

මා හැරෙන්නට වෙනත් කිසිවෙකු, මෙලොව වෙසෙන හෝ විසුව, භාග්‍යවන්ත වී නොමැත.


නමුත් මහා කාකය, එ නිශ්චල පිළිරුව මත තනිව ම ඔහේ හිඳ

තෙපළේ අර දෙය ම පමණකි; සිය ආත්මයෙහි ගැඹුරු ම තැන් ඉන් නිරාවරණය වූවා සේ;

ඉන්පසු කිසිවක් ඌ නොකීයේ ය; නැත ඌ පිහාටුවකුදු සැලුවේ.

අවසන මිමිණුවෙමි මම, “අනිත් යාළුවො මට ඉස්සර හිටපු, පියාඹලා ගියා මගේ ජීවිතෙන් ඈතට;

හෙට දිනයේ ඔහුත් යන්න යාවි; මගේ ජීවිත බලාපොරොත්තු සේ ම පියාඹාගෙන, ඈතට”

ඉක්බිති කීයේ ය කාකය “කවරදාකුදු නොහැක.”


තැනට උචිත පිළිතුරක හඬ නිසංසලය බිඳින’යුරු කණ වැකී බියපත් ව

“අනිවාර්යයෙන් ම” යි කීමි මම, “මූ ඔය කියන්නේ මූ අහුලාගත්තු වචනයක්

දුක්ගැහැට රාශියක් අත් විඳපු, කරදර රැසකට මුහුණ දුන් මුගේ ස්වාමියාගෙන්;

විඳින්නට විඳින්නට දුක් ගැහැට, පිටවන්න ඇත්තේ එක ම දෙයක් ඔහුගේ දුක් ගීවලින්—

ඔහුගේ සුන්නද්දූලි වූ, කම්මුතු වූ බලාපොරොත්තුවලට ඔහු ගැයූ දුක් ගීවලින්.

“කවරදාකදු, කවරදාකුදු නොහැක” විය හැක එ දෙය; වෙනත් කිසිවක් නොමැත.


එහෙත් තවමත්, දැක මේ මහා කාකය, සිනහවක් මුහුණෙහි ඇඳී, නැති ව ඇත්තේ ය මා දුක;

ඇද විත් කුෂන් පුටුවක් ඌ ඉදිරිපිටට, ඌ ද, දොර ද, පිළිරුව ද ඉදිරිපිටට

එමතැති කුෂනය තුළට ගිලී යමින්, ගළපන්නට වීමි මම නොයෙක් අදහස්, සිතමින් ඌ ගැන.

යටගිය දවසක මේ පෞරාණික පක්ෂියා—

ක්‍රෑරතර, අශෝභන, ඝෝරතර, කෘශ ව ගිය මේ අශුභවාදී පක්ෂියා

පැවසූ දෙය ගැන කරව් කරමින් “කවරදාකුදු නොහැක.”


කල්පනා කරමින් ඔය ගැන ම, හිඳ සිටියෙමි මම නිහඬව ම, මා සිතු කිසිදෙයක් නොපවසමින්,

ගිනියම් දෑසින් ම’දෙස බලා හිඳින, මා අභ්‍යන්තරය අවුළවමින් ම’දෙස බලා හිඳින

පක්ෂියා හට ඇසෙන්නට; මෙ ගැන සහ තවත් බෝ දෑ ගැන සිතමින්

ඇල ව හුන්නෙමි මම ලාම්පු එළිය සැරූ සේද කුෂනය මත;

නමුත් මෙ තැන් මතුවට කවරදාකුදු නොහැක ඇය හැට අල්ලා බලන්නට

ලාම්පු එළිය සරන දම් පෑ සේද කුෂනය; ස්පර්ශ කරනට එය, ඇයට හැකියාවක් නොමැත.


හැඟිණ මට මා අවටැති වාතාශ්‍රය, පිරවී යන බවක් දුම්කබලකින් වහනය වන සුගඳකින්

ඒ මේ අත වනනුයෙ එය සෙරැෆ්ලා නොවෙ ද; මේ බලව ස්ලාං හඬ මට ඇසෙන උන්ගෙ පාවල

“කාලකණ්ණියා,” මම මොර ගෑමි, “දැක්ක ද, දැක්ක ද, දෙවියන් වහන්සේ එවා මේ සුරඟනුන් උඹට

තනන්නේ විරාමයක්, සැනසිල්ලක්, නෙපෙන්තේ ඔසු බිඳුවක් ලබා දෙන්නට

අමතක කරවන්නට උඹට ලෙනෝර් ව; උගුරට දෙකට බොව, මෙය; බී අමතක කරව ලෙනෝර් ව.

තෙපළේ ය මහා කාකය එ සඳ: “කවරදාකුදු නොහැක!”


“දිවැසිවර කාකයෙක් උඹ!” පැවසීමි මම, “දුෂ්ට බලවේගයක් උඹ!—දිවැසිවර උඹ, පක්ෂියෙකු ද යක්ෂයෙකු ද

යක්ෂයා එවු දෙයක් ද, කුණාටු යක්ෂයා මෙහි එවු දෙයක් ද උඹ?

තනි ව නොබිය ව මේ ශාපලත් හුදෙකලා අඩවියෙහි හිඳින,

භීතියෙන් පිරීගත් මේ අමුනුෂ්‍ය නිවසට පැමිණ හිඳින කාකය, කරුණාකර මට කියනු මැන,

මට පවසනු මැන, මේ වියෝදුක තුරන් කරනට ඔසුවක් මට කිකලෙකුදු සොයාගත වනු හැකි ද?

තෙපළේ ය මහා කාකය එ සඳ: “කවරදාකුදු නොහැක!”


“දිවැසිවර කාකය!” පැවසීමි මම, “දුෂ්ට බලවේගයක් උඹ!—දිවැසිවර උඹ, පක්ෂියෙකු, යක්ෂයෙකු වුව

අපට ඉහළින් පවතින දෙව්ලොව ද, අප දෙදෙනා ම අදහන දෙවියන් ද ඉදිරියේ පවසව

වියෝදුකින් පිරීගත් මේ දුක්බර ආත්මයට, හැකි වනු ඇති දැයි කියා එය හට

ඈත එපිට ඊදනයෙහි දි තුරුල් කරගන්නට ගුණවත් යුවතියක් ලෙනෝර් නමින් සුරඟනුන් හඳුන්වන;

තුරුල් කරගන්නට දුලබ, ප්‍රීතිමත් යුවතියක් ලෙනෝර් නමින් සුරඟනුන් හඳුන්වන.

තෙපළේ ය මහා කාකය එ සඳ: “කවරදාකුදු නොහැක!”


“කාකයෝ නැතිනම් සතුරෝ,” මොරගෑමි මම අසුනෙන් නැඟිට “එ සේ නම් සළකමු තොපේ ඒ කියු දෙය

අප’තර ඇති වන අවසාන වචනය සේ! නැවතත් පියාඹාපන් නුඹ මෙහි රැගෙන ආ කුණාටුව දෙසට,

ඝනාන්ධකාර ප්ලූටෝනියානු අඩවියට! නුඹේ බොරුව සිහි කැඳවන පිහාටුවකුදු නොතබා පියාඹාපන්!

පියාඹා පලයන් මගේ තනිකම මට ම පමණක් ඉතිරිකොට! ඉවත් වෙය මාගේ උඩුකය පිළිරුවෙන්!

අහකට ගනිය තොපේ හොටය ම’හද ඇමිණැති! අහකට ගනිය නුඹේ හැඩය මගේ දොරට වැටී ඇති!

තෙපළේ ය මහා කාකය එ සඳ: “කවරදාකුදු නොහැක!”


එහෙත් මඳකුදු මඳකට නොසැලී, නොසෙලවී තවමත් එ මත ය, තවමත් එ මත ය

මගේ නිදන කුටියෙහි දොරට ඉහළින් ඇති පල්ලාස් පිළිරුව මත ම ය හිඳිනුයෙ මහා කාකය;

සිහින දකිනා යක්ෂයෙකු ගේ සේ ය උගෙ රුදු දෙ ඇස.

ඌ ඉහළින් ඇති ලාම්පු එළියෙන් ගලනා ආලෝක දහරාවල ගැටී වැටෙන්නෙ ය

පොළොව මත උගේ සෙවණැල්ල; පලා යන්නට ඉන් ගැළ වී මිදී මා ආත්මයට,

මම දනිමි, කවරදාකුදු නොහැක!


පරිවර්තනය: කාව්‍ය තත්සර

2025 - 01 - 07



Edgar Allan Poe
Edgar Allan Poe

 
 
 

Comments


bottom of page