කෙහෙල්මාළු අල්ලන්න කියාපු දවසක් - ජේ.ඩී. සැලින්ජර්
- Kavya Thathsara
- Apr 21, 2024
- 16 min read
හෝටලයේ නිව් යෝක් වෙළඳ ප්‍රචාරකයන් අනූ හත් දෙනෙකු සිටි අතර, ඔවුන් දුර ඇමතුම් රැහැන්වල බලය ඔවුන් යටතට අත් පත් කරගෙන සිටි ආකාරය නිසාවෙන්, 507 කාමරයේ සිටි යුවතියට ඇගේ දුරකතන ඇමතුම ගන්නට මධ්‍යහ්නයේ සිට දවල් දෙකහමාර වන තෙක් ම වාගේ බලා සිටින්නට සිදු විය. එහෙත් ඇය ඒ කාලයෙන් ප්‍රයෝජන නොගත්තා නොවේ. ඒ කාල සීමාවේ ඇය කාන්තාවන් සඳහා වෙන්වූ, සාක්කුවල රැගෙන යා හැකි ප්‍රමාණයේ සඟරාවක තිබූ “ලිංගිකව එකතු වීම — එය විනෝදජනක ද නැතිනම් මහා විඳවුමක් ද” නම් ලිපියක් කියෙව්වා ය. ඇය ඇගේ පනාවත්, රූපලාවණ්‍ය බුරුසුවත් සේදුවා ය. ඇගේ බේජ් වර්ණිත ඇඳුම් කට්ටලයේ ගවුමෙහි වූ පැල්ලම ඉවත් කළා ය. ඇගේ Saks හැට්ටයේ බොත්තම එහෙ මෙහෙ කළා ය. ඇගේ ඉන්නාගෙන් ඉවතට නෙරා තිබූ අලුත් කෙස්ගස් දෙකක් උදුරා දැමුවා ය. අන්තිමේ දී ඔපරේටර්වරයා ඇගේ කාමරයේ දුරකතනයට ඇමතුම ගත් වේලේ, ඇය කවුළුව අසළ ඇති සෝෆාවේ හිඳ සිටි අතර, ඒ වන විට ඇය ඇගේ වම’තෙහි නියපොතු සියල්ලෙහි ම පාහේ සායම් ද ආලේප කර අවසන් කොට තිබුණි.
ඇය, නද දෙන දුරකතනයක් නිසා තමා කරමින් සිටි දේවල් මඟ නවතා දැමූ ඇත්තියක් නොවුණා ය. හරියට, ඇය වැඩිවිය පත් වූ දා පටන් ඇගේ දුරකතනය නොනැවතී නද දුන්නා වැනි නොවෙනස් භාව ප්‍රකාශනයක් ය ඇගේ වතෙහි වූයේ.
දුරකතනය නද දෙමින් තිබූ අතරවාරයේ, ඇගේ කුඩා සායම් බුරුසුවෙන් ඇය ඇගේ සුළැඟිල්ල මත සායම් තවරන්නට වූයේ නියපොත්තෙහි අඩ සඳක් බඳු කොටස හුවා දක්වමිනි. ඉන්පසු ඇය සායම් බෝතලය මූඩියෙන් වසා, නැඟිටගෙන, ඇගේ වම්—මේ වන විට සායම්වලින් තෙත—අත එහෙටත් මෙහෙටත් වනන්නට වූවා ය. ඇය සෝෆාව මත තිබූ සිගරට් අළුවලින් පිරීගත් අළු තැටිය සායම් වියැලුණු අතට ගෙන, එය දුරකතනය තබා තිබූ සයනය අසළ කුඩා මේසය දෙසට ගෙන ගියා ය. ඇඳ ඇතිරිලි සකසා තිබූ තනි ඇඳන් දෙකෙන් එකක් මත හිඳගෙන, ඇය දුරකතනයේ රිසීවරය—ඒ වන විටත් දුරකතනය නද දුන් පස්වැනි හෝ සයවැනි වතාව ය—එසවූවා ය.
“හෙලෝ,” තම වම’තෙහි අතැඟිලි එකකට එකක් නොගෑවෙන පරිද්දෙන් වෙන් කරමින්, ඇගේ අත ඇය පැළැඳ සිටි මියුල් සපත්තු හැරුණුකොට ඇය ඇඟලාගෙන සිටි එක ම දෙය වූ—ඇගේ මුදු තිබුණේ නානකාමරයෙහි ය—සුදුපැහැ සේද ඩ්‍රෙසින් ගවොමෙන් ඈත් කොට තබාගෙන ඇය පැවසුවා ය.
“ඔබතුමිය නිව් යෝක්වලට ඉල්ලපු කෝල් එක දැන් ගන්න පුළුවන්, ග්ලාස් නෝනා,” ඔපරේටර්වරයා පැවසී ය.
“ස්තූතියි,” එලෙස පැවසූ යුවතිය, අළු තැටිය තබන්නට මේසය මත වූ දෑ එහෙ මෙහෙ කළා ය.
අනෙක් පසින් කතකගේ හඬ පැමිණියේ ය. “මියුරියල්? මේ කතාකරන්නෙ ඔයා නේද?”
යුවතිය ඇගේ කණ අසලින් රිසීවරය මඳක් වෙන’තකට හැරවූවා ය. “ඔව්, අම්මෙ. ඔයාට කොහොමද?” ඇය කීවා ය.
“මං ඔයා ගැන හුඟක් වදවෙලා හිටියෙ. ඇයි කෝල් එකක් නොගත්තෙ? ඔයා හොඳින් ද?”
“මං ඔයාට ඊයේ රෑ යි, ඊට කලින් දවසෙ රෑ යි කෝල් එකක් ගන්න හැදුවා. මෙහෙ ෆෝන් එක—”
“ඔයාට අවුලක් නැද්ද, මියුරියල්?”
ඇගේ කණත්, රිසීවරයත් අතර දුර ඇය තවත් වැඩි කළා ය. “මට අවුලක් නැහැ. මට රස්නෙයි. මේ අවුරුදු ගාණකින් ෆ්ලොරීඩාවලට ලබපු රස්නෙම දව—”
“ඇයි ඔයා මට කෝල් එකක් ගත්තෙ නැත්තෙ? මං හුඟක් බයවෙලා හි—”
“අම්මෙ, පැටියෝ, කෑ ගහන්න එපා අනේ. මට ඔයාව ලස්සනට ඇහෙනවා,” යුවතිය පැවසුවා ය. “මං ඔයාට ඊයෙ දෙපාරක් කතා කළා. එක පාරක් කතා කළේ හරියට ම—”
“මං ඔයාගෙ තාත්තට කිව්වා සමහරවිට ඔයා ඊයෙ රෑ කතා කරාවි කියලා. ඒත් කොහෙද, එයාට . . . ඔයා හොඳින් ද මියුරියල්? මට ඇත්ත කියන්න.”
“මට ප්‍රශ්නයක් නැහැ. අනේ ඕක මගෙන් අහන එක නතර කරන්නකො.”
“ඔයා ඔහෙට ආවෙ කීයට ද?”
“මන්දා. බදාදා උදේ වගේ. පාන්දරින් ම.”
“කවුද වාහනේ එලෙව්වෙ?”
“එයා තමයි,” යුවතිය කීවා ය. “ඉතින් කලබල වෙන්න නං හදන්න එපා. එයා හොඳට එලෙව්වා. මට පුදුමත් හිතුණා.
“එලෙව්වෙ එයා? මියුරියල්, ඔයා මට ඔයාගෙ වචනෙ—”
“අම්මේ,” යුවතිය බාධා කළා ය. “මං දැන් ඔයාට කිව්වෙ. එයා හොඳට වාහනේ එළෙව්වා. ඇත්තම කිව්වොත් එයා මුළු ගමන ම ගියේ පණහට අඩු වේගෙකින්.”
“එයා ගස්වලට අර අමුතු වැඩේ එහෙම කරන්න ගියා ද?”
“එයා හුඟක් හොඳට වාහනේ එළෙව්වා, අම්මෙ. අයියෝ. මං එයාට සුදු ඉරට කිට්ටුවෙන් වාහනේ අරගෙන යන්න කියලා එහෙම කිව්වා. ඉතින් එයාට තේරුණා මං ඒ කිව්ව දේ මොකක්ද කියලා. එයා ගස් දිහා බැලුවෙවත් නෑ - ඒක සහතිකේට ම කියතෑකි. ආ, මේ ඒක නෙවෙයි, තාත්තා කාර් එක හදාගත්ත ද?”
“තවම නෑ. එයාලා ඩොලර් හාරසීයක් ඉල්ලනවා, ඒකත්—”
“අම්මෙ, සීමෝ තාත්තට කිව්වා ඒකට එයා ගෙවන්නං කියලා. කිසිම—”
“අපි බලමුකො. එයා හැසිරුණේ කොහොමද - කාර් එකේ එහෙම?”
“වරදක් නැහැ,” යුවතිය කීවා ය.
“එයා ඔයාට අර අසික්කිත නමෙන් එහෙම—”
“නෑ, දැන් එයා කියන්නෙ අලුත් එකක්.”
“ඒ මොකක්ද?”
“ඕක දැනගත්තා කියලා ඇති වැඩේ මොකක්ද, අම්මෙ?”
“මියුරියල්, මට දැනගන්න ඕනෙ. ඔයාගෙ තාත්තා—”
“හරි, හරි. එයා මට කියන්නෙ 1948 අවුරුද්දෙ හැඟීම් දැනීම් නැති ගෑනි කියලා,” යුවතිය එලෙස පවසා, සිනහ සැලී ය.
“ඒකට හිනා යන්නෙ නැහැ, මියුරියල්. එක බිංදුවක් හිනා යන්නෙ නෑ. ඒක මහ ජරා කතාවක්. ඇත්තට ම මට හරි දුකයි. ඔයා—”
“අම්මෙ,” යුවතිය බාධා කළා ය. “මේ අහන්න. ඔයාට මතකද එයා ජර්මනියෙ ඉඳන් මට එවපු පොත? දන්නවනෙ - අර ජර්මන් කවි එහෙම තිබුණෙ. මං ඒකට කළේ මොකක්ද? මං මගේ රැක් එකේ—”
“ඒක ඔයා ළඟ.”
“ඔයාට හොඳටම විශ්වාස ද?” යුවතිය ඇසුවා ය.
“නැතුව. ආ, හරිනෙ. ඒක තියෙන්නෙ ෆ්‍රෙඩී ගෙ කාමරේ. ඔයා ඒක මෙහෙ දාලා ගියා. මට ඒක තියන්න ඉඩ තිබුණෙත් නෑ — ඇයි? එයාට ඒක ඕනෙලු ද?”
“නෑ. එයා මගෙන් ඒ ගැන ඇහුවා විතරයි. ඒ අපි වාහනේ එද්දි. එයාට දැනගන්න ඕනෙ වුණා මං ඒක කියෙව්ව ද කියලා.”
“ඒක තිබ්බෙ ජර්මන්වලින්!”
“ඔව්, පැටියො. ඒ වුණා කියලා වෙනසක් වෙන්නෙ නෑ,” යුවතිය පැවසුවේ කකුලක් පිට කකුලක් දමා ගනිමිනි. “එයා කිව්වා ඒ කවි ලියලා තියෙන්නෙ මේ ශතවර්ෂෙ පහළ වෙච්ච විශිෂ්ට ම කවියා ලු. මට පරිවර්තනයක් වගේ දෙයක් ගන්න තිබ්බලු. එහෙම නැත්තං මට ඕනෙකමක් තිබුණා නං භාෂාව ඉගෙනගන්න තිබුණා ලු."
“අන්තිමයි. අන්තිමයි. ඇත්තට ම මට හරිම කණගාටුයි. ඔයාගෙ තාත්තා ඊයෙ රෑ කිව්වා—”
“තප්පරයක් ඉන්න, අම්මෙ,” කියා යුවතිය පැවසුවා ය. ඇය කවුළුව අසළ සෝෆාව මත තිබූ ඇගේ සිගරට්ටු දෙසට ගොසින්, එකක් දල්වාගෙන, නැවතත් සයනය මත හිඳගෙන, “අම්මේ?” යි කීයේ සිගරට් දුම් පිට කරමිනි.
“මියුරියල්, දැන් මං කියන දේ අහගන්න.”
“මං අහන් ඉන්නෙ.”
“ඔයාගේ තාත්තා සිවෙට්ස්කි දොස්තර මහත්තයා එක්ක කතා කරා.”
“ඕහ්?” යුවතිය කීවා ය.
“එයා දොස්තර මහත්තයට ඔක්කොම කිව්වා. අඩුම, එයා එහෙම කිව්වා කියලා කිව්වා—ඔයා දන්නවනෙ ඉතින් තාත්තා ගැන. ගස් ගැන; අර ජනේලෙට කරපු දේ ගැන; ආච්චි තමන්ගෙ මරණෙ ගැන තිබ්බ සැලසුම් කිව්වම; අර බර්මියුඩාවලින් ලැබුණු ලස්සන පින්තූරවලට එයා කරපු දේ—මේ ඔක්කොම එයා කියලා.”
“ඉතින්?” යුවතිය පැවසුවා ය.
“ඉතින්. මුලින් ම, එයා කියලා තියෙනවා හමුදාව එයාව ඉස්පිරිතාලෙන් එවපු එක හමුදාවෙන් තිතට සැලසුම් කරලා කරපු වැඩක් ය කියලා—මං මේ කියන්නෙ ඇත්ත. එයා ඔයාගෙ තාත්තට සැකයක් නැතුව ම කියලා තියෙනවා සීමෝට එයාව පාලනය කරගන්න බැරි වෙන්න ඉඩක්—ලොකු ඉඩක් තියෙනවා කියලා. මං මේ කියන්නෙ ඇත්ත.”
“හෝටලේ මනෝචිකිත්සකයෙක් ඉන්නවා,” යුවතිය කීවා ය.
“කවුද? එයාගෙ නම මොකක්ද?”
“මන්දා. රීසර් හරි මොකක්හරි. එයා හුඟක් දක්ෂයි ලු.”
“මං එයා ගැන අහලා ම නැහැ.”
“ඒ කොහොම වුණත් එයා හරි දක්ෂයි ලු.”
“අනේ මියුරියල්. ඔච්චර විශ්වාසෙකින් ඉන්න එපා. අපි ඔයා ගැන හොඳට ම බයවෙලා ඉන්නෙ. ඔයාගෙ තාත්තට ඊයෙ රෑ ම ඔයාට ගෙදර එන්න කියලා ලියන්න ඕනෙ වුණත් එක. ඇත්තම කිව්—”
“මං මේ දැන් නං ගෙදර එන්නෙ නැහැ අම්මෙ. ඉතින් කලබල වෙන්න එපා.”
“මියුරියල්, මං මේ ඇත්තමයි කියන්නෙ. ඩොක්ටර් සිවෙට්ස්කි කියලා තියෙනවා සීමෝ ට එයාව පාලනය කරගන්න බැරි—”
“මං මේ මෙතනට ආවා විතරයි, අම්මෙ. මේ මං අවුරුදු ගාණකින් ගත්තු පළවෙනි නිවාඩුව. ඉතින් මං ආයෙ ඔක්කොම පැක් කරගෙන ගෙදර එන්නෙ නැහැ,” යුවතිය කීවා ය. “මට කොහොමත් දැන් කොහෙවත් යන්න බැහැ. මට හෙල්ලෙන්නවත් බැරි තරමට ඉර අවුවට අහුවෙලා මාව හොඳටෝම රතු වෙලා.”
“ඔයාව ඉර අවුවට අහුවෙලා කිව්වා? ඇයි ඔයා මම ඔයාගෙ බෑග් එකේ දාපු Bronze කුප්පිය පාවිච්චි කරේ නැද්ද? මං ඒක දැම්මෙ—”
“මං ඒක පාවිච්චි කරා. ඒ වුණත් මගෙ හම අවුවට පිච්චිලා තියෙන්නෙ.”
“අයියෝ. කොහෙද පිච්චිලා තියෙන්නෙ?”
“මුළු ඇඟම, පැටියො. මුළු ඇඟම.”
“අයියෝ හරි දරුණුයි නේ ඒ වැඩේ.”
“මට ලොකු අමාරුවක් නැහැ.”
“ඔයා මනෝචිකිත්සකයට කතා කරා ද?”
“පොඩ්ඩක් විතර,” යුවතිය කීවා ය.
“මොකක්ද එයා කිව්වෙ? ඔයා එයා එක්ක කතා කරද්දි සීමෝ හිටියෙ කොහෙද?”
“ඕෂන් රූම් එකේ. පියානෝ ගහ ගහ. අපි මෙහෙ හිටපු රෑ දෙකටම එයා පියානෝ එක වාදනය කරා.”
“ඉතින්, එයා මොකක්ද කිව්වෙ?”
“ඕ, වැඩිපුර මුකුත් කිව්වෙ නෑ. මට මුලින් කතා කරේ එයා. මං ඊයෙ රෑ බිංගෝ සෙල්ලං කරද්දි එයාට අනික් පැත්තෙන් වාඩිවෙලා හිටියෙ. ඊට පස්සෙ එයා මගෙන් ඇහුවා අර අනික්පැත්තෙ කාමරේ පියානෝ ගැහුවෙ මගේ මහත්තය ද කියලා. මං කිව්වා ඔව්, ඒ එයා තමා කියලා. ඊට පස්සෙ එයා මගෙන් ඇහුවා සීමෝ ට මොකක් හරි අසනීපයක් එහෙම තිබ්බ ද කියලා. ඉතින් මං කිව්වා—”
“ඇයි එයා එහෙම ඇහුවෙ?”
“මං දන්නෑ අම්මෙ. මං හිතන්නෙ එයා අර සුදුමැලි පාටට එහෙම හැරිලා ඉන්න නිසා වෙන්නැති.” යුවතිය පැවසුවා ය. “කොහොමහරි, බිංගෝ සෙල්ලම ඉවර වුණාට පස්සෙ එයයි එයාගෙ නෝනයි මගෙන් ඇහුවා එයාලා එක්ක මොනවහරි බොන්න යන්න මං කැමති ද කියලා. ඉතින් මාත් ගියා. එයාගෙ නෝනා නං අන්තිමයි. ඔයාට මතක ද අපි අර බොන්විට්’ස් කඩේ ජනේලේ තියෙනවා දැකපු ඩිනර් ඩ්‍රෙස් එක? අර ඔයා පොඩිම පොඩි—”
“කොළ එක ද?”
“එයා ඒක ඇඳගෙන හිටියෙ. අනිත් ඇඳුම් පවා අලුත් ම විලාසිතාවෙ ඒවා. එයා මගෙන් කොච්චරවත් ඇහුවා සීමෝ අර මැඩිසන් පාරේ ගෑනු අයට තොප්පි විකුණන තැන කරගෙන යන සුසෑන් ග්ලාස් ගෙ නෑයෙක් ද කියලා.”
“අරයා මොකක්ද කිව්වෙ? මං කිව්වෙ දොස්තර.”
“ඕ. ලොකුවට මුකුත් කිව්වෙ නැහැ ඇත්තට ම. අපි ඉතින් හිටියෙත් බාර් එකේ එහෙමනේ. හරිම සද්දයක් තිබුණෙ.”
“හරි. ඒත් ඔයා—ඔයා එයාට කිව්ව ද සීමෝ ආච්චිගෙ පුටුව එක්ක කරන්න හැදුව දේ?”
“නෑ, අම්මෙ. මං එච්චර දේවල් කියන්න ගියේ නැහැ,” යුවතිය පැවසූවා ය. “මට සමහරවිට ආයෙම එයත් එක්ක කතාකරන්න ලැබේවි. එයා දවස පුරාම ඉන්නෙ බාර් එකේ.”
“එයා කිව්ව ද සීමෝ—ඔයා දන්නවනෙ—අමුතු දේවල් කරන්න ගනියි කියලා හිතුණ ය කියලා එයා කිව්ව ද? ඔයාට මොකක් හරි කරාවි කියලා එහෙම?”
“එහෙම කිව්වෙ නැහැ,” යුවතිය කීවා ය. “එයාට තව දේවල් දැනගන්න ඕනෙ වුණා, එහෙම දෙයක් කියන්න එයාලා ළමා කාලෙ—ඒ වල්පල් හැම එකක් ම ගැන දැනගෙන ඉන්න ඕනෙ. මං ඔයාට කිව්වනෙ, අපිට කතාකරන්න පුළුවන්කමක් තිබ්බෙ ම නැහැ. එහෙ තිබුණෙ මහ සද්දයක්.”
“ඔයාගෙ නිල් කෝට් එක මොකෝ?”
“නරක නෑ. ඒකෙ පැඩිං ටිකක් මං අයින් කරවගත්තා.”
“මේ අවුරුද්දෙ ඇඳුම්වල තත්වෙ මොකෝ?”
“අන්තිමයි. ඒත් හරි අමුතුයි. බලන බලන හැම ඇඳුමෙ ම—සීක්වින්ස්.” යුවතිය පැවසූවා ය.
“කාමරේ කොහොමද?”
“වරදක් නැහැ. හැබැයි ඉතින් වරදක් නැහැ කියලා විතරයි කියන්න පුළුවන්. යුද්ධෙට කලින් අපි ඉඳපු කාමරේ අපිට ගන්න බැරි වුණා,” යුවතිය පැවසූවා ය. “මේ අවුරුද්දෙ ඉන්න අය ගන්න දෙයක් නැහැ. කෑම කාමරේ අපිට එහා පැත්තෙන් වාඩි වුණු අය දිහා ඔයා දකින්න තිබ්බෙ. එයාලගෙ පෙනුම නිකං ට්‍රක් එකකින් මෙහෙට ආවා වගේ.”
“හැමතැනම ඒ වගේ තමයි. ඔයාගෙ බැලේ ඇඳුම මොකෝ?”
“ඒක දිග වැඩියි. මං ඔයාට කිව්වනේ ඒක දිග වැඩියි කියලා.”
“මියුරියල්, මං මේක ඔයාගෙන් අහන්නෙ තව එක පාරයි—ඔයා ඇත්තට ම හොඳින් ද?”
“ඔව්, අම්මෙ,” යුවතිය කීවා ය. “මං මේ ඕක කියන්නෙ දහනවවෙනි පාරට.”
“ඔයාට ගෙදර එන්න ඕනෙ නැද්ද?”
“නෑ, අම්මෙ.”
“ඔයාගෙ තාත්තා ඊයෙ රෑ කිව්වා ඔයා විතරක් තනියෙම කොහාකටහරි ගිහින් ආයෙත් දේවල් ගැන හිතලා බලනවා නං එයා එක පයින් ඒකට සල්ලි වියදම් කරනවා කියලා. ඔයාට ෂෝක් නැව් සවාරියක් යන්න පුළුවන්. අපි දෙන්නම හිතුවෙ—”
“එපා, ස්තූතියි.” යුවතිය එලෙස පවසා, එක පිට එක දමාගෙන සිටි දෙපා වෙන් කළා ය. “අම්මෙ, මේ කෝල් එක හරි ගණ—”
“යුද්ධ කාලෙ පුරාම ඒ කොල්ලා එනකල් ඔයා හිටපු හැටි ගැන මං කල්පනා කරලා බලද්දි—මං කියන්නෙ අර පිස්සු නෝනලා හැමෝම—”
“අම්මෙ,” යුවතිය පැවසුවා ය. “කෝල් එක නවත්තන එක හොඳයි. සීමෝ ඕනෙ වෙලාවක එන්න පුළුවන්.”
“එයා කොහෙද?”
“බීච් එකේ.”
“බීච් එකේ? තනියෙම? එයා බීච් එකේ හොඳට හැසිරෙනවා ද?”
“අම්මෙ,” යුවතිය පැවසුවා ය. “ඔයා කතාකරන්නෙ එයාව වල්පල් දොඩවන පිස්සෙක් ගාණට දාලා නෙ—”
“මං ඒ වගේ දෙයක් කිව්වෙ නැහැ, මියුරියල්.”
“කොහොම වුණත් ඔයා කියන දේවල් මට තේරෙන්නෙ එහෙම. එයා එතන ඇලවිලා ඉන්න එක විතර නෙ කරන්නෙ. එයා එයාගෙ නානකබායවත් ගළවන්නෙ නෑ.”
“ඇයි එයා ඒක ගළවන්නෙ නැත්තෙ? ඇයි ඒ?”
“මං දන්නෑ. සමහරවිට එයා හොඳටම සුදුමැලි නිසා වෙන්නැති.”
“මගෙ දෙයියනේ. එයාට ඉර එළිය ඕනෙ. ඔයාට බැරිද එයාට කියලා ඒක ගළවවන්න.
“ඔයා දන්නවනෙ සීමෝ ගැන,” යුවතිය එලෙස පවසා, නැවතත් දෙපා එක මත එක තබාගත්තා ය. “එයා කියනවා මෝඩයො ගොඩදෙනෙක් එයාගෙ පච්චෙ දිහා බලනවට එයා කැමති නැහැ කියලා.”
“එයාට පච්චයක් නැහැ! එයා හමුදාවෙ ඉන්නකොට එකක් ගහගෙන ද?”
“නෑ අම්මෙ, නෑ පැටියො,” යුවතිය එලෙස පවසා, හිඳ හුන් තැනින් නැඟිට්ටා ය. “මේ අහන්න, මං ඔයාට ආයෙම කතා කරන්නං. සමහරවිට, හෙට වගේ.”
“මියුරියල්, මේ මං කියන එක අහගන්න.”
“ඔව් අම්මෙ,” යුවතිය පැවසූයේ, දකුණු කකුළට ඇගේ මුළු බර ම යොදමිනි.
“එයා මොනවහරි අමුතු දෙයක්—ඔයා දන්නව නෙ මං කියන්නෙ මොන වගේ දෙයක් ද කියලා—කෙරුවොත් හරි කිව්වොත් හරි, මට ඒ වෙලේ ම කෝල් කරන්න. ඔයාට ඇහුණ ද?”
“අම්මෙ, මම සීමෝ ට බය නැහැ.”
“මියුරියල්, මට ඔයා පොරොන්දු වෙන්න.”
“හරි. මං පොරොන්දු වෙනවා. ගුඩ්බායි අම්මෙ,” යුවතිය පැවසුවා ය. “තාත්තට ආදරෙයි කිව්වා කියන්න.” ඇය දුරකතන ඇමතුම අවසන් කළා ය.
*****
“සී මෝ ග්ලාස්," තම මව සමඟින් හෝටලයේ නතර වී සිටි සිබිල් කාපෙන්ටර් පැවසුවා ය. "ඔයා දැක්කද තව වීදුරු?"1
"වස්තුවේ, ඔහොම කියන එක නවත්තගන්න. ඕක අහලම අම්මට එපා වෙලා තියෙන්නෙ. හෙලවෙන්නැතුව ඔහොම ඉන්න අනේ."
කාපෙන්ටර් මහත්මිය, ඉර අව්වෙන් ආරක්ෂා වීමට තවරන තෙල් සිබිල් ගේ දෙඋරහිසේ තැවරූයේ ඒ තෙල්, ඇගේ සුමුදු, පියාපත් බඳු වූ උරපතු ඔස්සේ පහළට පැතිරී යන පරිදි ය. සමුදුර දෙසට මුහුණලාගෙන සිබිල්, පිම්බුණු, සුවිසල් බීච් බෝලයක් මත අස්ථිර ව හිඳගෙන සිටියා ය. ඇය කැනරි පක්ෂීන් ගේ කහ වර්ණයෙන් යුතු කොටස් දෙකක නාන ඇඳුමක් ඇඳ සිටි නමුත්, සත්‍යවශයෙන් ම තවත් වසර නවයක් දහයක් ගත වන තුරු ම ඇයට එම නාන ඇඳුමෙන් එක කොටසක් අවශ්‍ය වන්නේ ම නැත.
"ඇත්තට ම ඒක සාමාන්‍ය සිල්ක් ලේන්සුවක්—ළඟට ආව ම ඒ බව පේනවා." කාපෙන්ටර් මහත්මියගේ අසුනට පසෙකින් තිබූ අසුනෙහි හිඳගෙන සිටි කත කීවා ය. “එයා ඒක ගැටගහපු විදිහ මට දැනගන්න තිබ්බ නං. ඒක ඇත්තට ම හරි ලස්සනයි.”
“ඔය කියන විදිහට ඒක ලස්සනයි වගේ තමයි,” කාපෙන්ටර් මහත්මිය ද ඊට එකඟ වූවා ය. “සිබිල්, හෙල්ලෙන්නැතුව ඉන්න වස්තුවේ.”
“ඔයා දැක්කද තව වීදුරු?”
කාපෙන්ටර් මහත්මිය සුසුම් ලෑවේ ය. “හරි.” ඇය පැවසුවා ය. ඇය ඉර අව්වෙන් ආරක්ෂා වීමට තවරන තෙල් බෝතලය මූඩියෙන් වැසුවා ය. “දැන් ඉතින් ගිහින් සෙල්ලං කරන්න පැටියෝ. අම්මා හොටෙල් එකට හබල් නෝනා එක්ක මාටිනී එකක් බොන්න යනවා. මං ඔයාට ඔලිව් ගෙඩිය අරන් එන්නං.”
බුරුලක් ලැබී, සිබිල් එකෙණෙහිම මුහුදු වෙරළේ සමතලා ප්‍රදේශයට දිව ගොස්, ධීවරයන් වෙනුවෙන් වෙන්කොට ඇති ගොඩනැඟිල්ල පිහිටා තිබූ දිශාවට ඇවිද යන්නට පටන් ගත්තා ය. මුහුදු වැලිවලින් සාදා තිබූ, කඩාවැටුණු, තෙත මාලිගයක් මතින් එක් පයක් තබන්නට පමණක් නැවතුණු ඇය, නොබෝ වේලාවකින් හෝටලයේ අමුත්තන් වෙනුවෙන් වෙන්කොට තිබූ ප්‍රදේශයත් පසු කරමින් ගමන් ගනිමින් සිටියා ය.
හැතැක්ම කාලක් පමණ ම ඇය ඇවිද ගිය අතර, මුහුදු වෙරළේ සුමුදු වැලි තිබූ ප්‍රදේශය ඔස්සේ ඇය පැත්තකට ඇලවීගෙන දිව ගියා ය. තරුණයෙක් ඔහුගේ පිට පෙදෙස බිමට සිටින සේ වැතිරගෙන සිටි ඉසවුවට ළඟා වූ විට ඇය නැවතුණි.
“ඔයා වතුරට යනව ද, සී මෝ ග්ලාස්?” ඇය පැවසී ය.
තරුණයා චලනය වූ අතර, ඔහුගේ දකුණ’ත ඔහු හැඳ සිටි ටෙරීක්ලොත්2 නානකබායේ පටි දෙසට ගමන්ගත්තේ ය. ඔහු අනෙක් පැත්ත පෙරළී ඔහුගේ උදරය පොළොවට සිටින සේ වැතිරීගනිද්දී සොසේජ් රෝලක හැඩයට සකසා තිබූ සළුව ඔහුගේ දෑස් මතින් පොළොවට වැටුණි. ඉන්පසු ඔහු දෑස් පොඩි කොට, හිස ඉහළට මෙහෙයවා සිබිල් දෙස බැලුවේ ය.
“හේයි, හෙලෝ, සිබිල්.”
“ඔයා වතුරට යනව ද?”
“මං ඔයා එනකල් බලන් හිටියෙ,” තරුණයා පැවසී ය. “මොනවද අලුත් ආරංචි?”
“මොකද්ද?”
“මොනවද අලුත් ආරංචි? ඒ කියන්නෙ ඉස්සරහට වෙන්න තියෙන්නෙ මොනවද?”
“මගේ තාත්තා හෙට පිලෙන්නෙකෙන්3 මෙහෙට එනවා.” සිබිල් පැවසුවේ වැල්ලට පා පහරක් එල්ල කරමිනි.
“මගෙ මූණට වැලිවලින් ගහන්න එපා, පැටියෝ,” තරුණයා පැවසුවේ, අතක් සිබිල් ගේ වළලුකර මතින් තබමිනි. “දැන් එයාට එන්න වෙලාව. මං කිව්වෙ ඔයාගෙ තාත්තට. මං ගතවෙලා යන හැම පැයක් තිස්සෙ ම හිටියෙ එයා එනකල් බලාගෙන.”
“කෝ නෝනා?” සිබිල් පැවසුවා ය.
“නෝනා?” තරුණයා, සිය සිහින් කෙස්ගස් අතරින් වැලි ඉවත් කළේ ය. “ඒක නං කියන්න අමාරුයි, සිබිල්. එයා ඉන්නෙ මගෙ ඔළුවට එන තැන් දාහකින් ඕනෙම එකක වෙන්න පුළුවන්. සමහරවිට එයා ඇත්තෙ කොණ්ඩ විලාසිතා කරන කෙනා ගාවට ගිහින් මුගටි පාටට කොණ්ඩෙ පාට කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තන් එයාගෙ කාමරේට වෙලා දුප්පත් ළමයින්ට බෝනික්කො හදනවා වෙන්න පුළුවන්.” මේ අවස්ථාවේ මුණින් වැටීගෙන සිටි ඔහු, සිය දෑත ම මිට මොළොවාගෙන, එක් අතක් මත අනෙක් අත තබා, එ’මත සිය නිකට තබාගත්තේ ය. “මගෙන් වෙන මොනවහරි දෙයක් ගැන අහන්න සිබිල්.” ඔහු පැවසී ය. “ඔයාගෙ නාන ඇඳුම එහෙම හරි ලස්සනයි නෙ. මං කැමතිම දෙයක් කියලා දෙයක් තියෙනව නං, ඒ නිල් පාට නාන ඇඳුමක්.”
සිබිල් ඔහු දෙස බලා සිට, ඉන්පසු තම ඉදිරියට නෙරා තිබූ උදරය දෙස බැලුවා ය. “මේක කහ එකක්,” ඇය පැවසුවා ය. “මේක කහ එකක්.”
“එහෙමද? තව ටිකක් මගෙ ළඟට එන්න බලන්න.”
සිබිල් අඩියක් ඉදිරියට තැබුවා ය.
“ඔයා කිව්වා හරි නෙ. මාත් මහ මෝඩයෙක් නෙ.”
“ඔයා වතුරට යනවද?” සිබිල් ඇසුවා ය.
“මාත් මේ ඒක ගැන මේ බරපතළ විදිහට හිතනවා. දන්නව ද සිබිල්, මං මේ ඒක ගැන හුඟක් කල්පනා කරන ගමන් ඉන්නෙ.”
තරුණයා සමහර අවස්ථාවල දී ඔහුගේ හිස තබාගන්නට භාවිත කළ රබර් පහුරට සිබිල් පයින් ඇන්නා ය. “ඒකට හුළං පුරවන්න ඕනෙ,” ඇය කීවා ය.
“ඔයා හරි. මේකට මං පුරවන්න කැමති ගාණට වඩා හුළං ඕනෙ.” ඔහු ඔහුගේ මිට මෙළැවුණු දෑත් ඉවත් කොට, නිකට වැලි මත සැතැප්පුවේ ය. “සිබිල්,” ඔහු පවසන්නට විය. “ඔයාගෙ පෙනුම හරි ලස්සනයි. ඔයාව දකින්න ලැබුණු එක ගැන මට සතුටුයි. මට ඔයා ගැන කියන්න.” ඔහු ඉදිරියට නැඹුරු වී, දෑතින් ම සිබිල් ගේ වළලුකර ප්‍රදේශ අල්ලාගත්තේ ය. “මං මකර,” ඔහු පැවසී ය. “එතකොට ඔයා?”
“ෂෑරන් ලිප්ෂුට්ස් කිව්වා ඔයා එයාට ඔයත් එක්ක පියානෝ පුටුවෙ වාඩි වෙන්න දුන්නා කියලා,” සිබිල් කීවා ය.
“ෂෑරන් ලිප්ෂුට්ස් එහෙම කිව්වා?”
සිබිල් නොඉවසිල්ලෙන් හිස උඩට පහළට සැලුවා ය.
ඔහු ඇගේ වළලුකර අත හැර, සිය දෑත තවත් කිට්ටුවට ගෙන, දකුණු අතෙහි මැද හිස තබාගත්තේ ය. “මෙහෙමයි,” ඔහු පැවසී ය. “ඔයා දන්නවනෙ ඔය වගේ දේවල් වෙන්නෙ කොහොමද කියලා, සිබිල්. මං පියානෝ එක වාදනය කර කර එතන වාඩිවෙලා හිටියා. ඔයා පේන්නවත් හිටියෙ නැහැ. ඉතින් ෂෑරන් ලිප්ෂුට්ස් ඇවිත් මට එහා පැත්තෙන් වාඩි වුණා. මට එයාව තල්ලු කරලා දාන්න බෑනෙ, නේ?”
“පුළුවන්.”
“අපොයි, බෑ. මට එහෙම කරන්න බෑ.” තරුණයා පැවසී ය. “මං ඔයාට කියන්නං මං කළේ මොකක්ද කියලා.”
“මොකක්ද?”
“මං ඒ හිටියෙ ඔයා කියලා හිතන් බොරුවට හිටියා.”
සිබිල් එක්වරම ඉදිරියට නැමී, වැල්ල හාරන්නට වූවා ය. “අපි වතුරට යමු,” ඇය කීවා ය.
“හරි,” තරුණයා පැවසී ය. “මං හිතන්නෙ මට එන්න පුළුවන්.”
“ඊළඟ පාර, එයාව තල්ලු කරන්න,” සිබිල් පැවසුවා ය.
“කාවද?”
“ෂෑරන් ලිප්ෂුට්ස් ව.”
“ආ, ෂෑරන් ලිප්ෂුට්ස්,” තරුණයා කීවේ ය. “ඒ නම එකපාරට ම මේ කතාවට ආපු හැටි. ඒ එන්නෙත් මතකයයි ආශාවයි එකට එකතු කර කර.4” ඔහු එක්වර ම නැඟිටගත්තේ ය. ඔහු සාගරය දෙස බැලුවේ ය. “සිබිල්,” ඔහු පවසන්නට විය, “අපි මෙහෙම කරමු. අපි බලමු අපිට කෙහෙල්මාළුවෙක් අල්ලගන්න පුළුවන් ද කියලා?”
“මොකෙක්?”
“කෙහෙල්මාළුවෙක්,” ඔහු එලෙස පවසා, නාන කබායේ කබා පටි ලිහුවේ ය. ඔහු නාන කබාය සියලඟින් ඉවත් කළේ ය. ඔහුගේ දෙඋර සුදු සහ පටු වූ අතර, ඔහුගේ කොට කලිසම් රෝයල් නිල් පැහැති විය. ඔහු කබාය මුලින් ම දිගු අතට, ඉන්පසුව කොටස් තුනකට නැමුවේ ය. ඔහු ඔහුගේ දෑසට ඉහළින් තබාගෙන සිටි සළුව දිගහැර, එය වැල්ලෙහි අතුරා, ඉන්පසු නමන ලද නාන කබාය ඒ මතින් තැබුවේ ය. ඔහු නැමී, රබර් පහුර ඔසොවා, එය දකුණත යටින් සිරකොට තබාගත්තේ ය. ඉන්පසුව, ඔහුගේ වම’තෙන් සිබිල් ගේ සුරත ගත්තේ ය.
ඔවුන් දෙදෙනා සාගරය දෙසට යන්නට වූහ.
“මං හිතනවා ඔයා පුංචි කාලෙ කෙහෙල්මාළු ගොඩක් එහෙම දකින්නැති කියලා,” තරුණයා පැවසී ය.
සිබිල්, ඇගේ හිස දෙපසට සෙළවූවා ය.
“දැකලා නැද්ද? ඒක නෙවෙයි, ඔයා ජීවත් වෙන්නෙ කොහෙද?”
“මං දන්නෑ,” සිබිල් පැවසුවා ය.
“ඔයා දන්නවා. අනිවාර්යයෙන් ම ඔයා ඒක දැනගන්න ඕනෙ. ෂෑරන් ලිප්ෂුට්ස් පවා දන්නවා එයා ඉන්නෙ කොහෙද කියලා. අනික, එයාගෙ වයසත් අවුරුදු තුනහමාරයි.”
සිබිල් නතර වී, ඔහුගේ අතෙන් ඇගේ අත පසුපසට ඇද්දා ය. ඇය වැල්ලෙන් බෙලි කටුවක් ගෙන, එය දෙස මහත් වුවමනාවකින් බලා සිටියා ය. ඉන්පසු ඇය එය බිමට හැලුවා ය. “වර්ලි වුඩ්, කනෙක්ටිකට්,” ඇය එලෙස පවසා, උදරයත් ඉදිරියට දමාගෙන ඇවිද ගියා ය.
“වර්ලි වුඩ්, කනෙක්ටිකට්,” තරුණයා පැවසී ය. “ඒක නෙමෙයි, ඒ හරිය තියෙන්නෙ වර්ලි වුඩ්, කනෙක්ටිකට් කිට්ටුවෙ ද?”
සිබිල් ඔහු දෙස බැලුවා ය. “මං ජීවත් වෙන්නෙ එහේ,” ඇය නොඉවසිල්ලෙන් පැවසුවා ය. “මං ජීවත්වෙන්නෙ වර්ලි වුඩ්, කනෙක්ටිකට්වල.” ඇය ඔහු පසුකොට පියවර කිහිපයක් දිව ගොස්, ඇගේ වම් පය වම් අතින් අල්ලගෙන, දෙතුන් වතාවක් පැන පැන ගමන්ගත්තා ය.
“ඔයා දන්නැහැ ඔයා දැන් ඔය කියපු දේ නිසා හැමදේම කොච්චර පැහැදිලි වෙනව ද කියලා,” තරුණයා පැවසී ය.
සිබිල් ඇගේ පාදය අත හැරියා ය. “ඔයා ‘ලිට්ල් බ්ලැක් සැම්බෝ’ කියෙව්ව ද?” ඇය පැවසී ය.
“ඔයා ඒක මගෙන් අහපු එක හරි අමුතු දෙයක්,” ඔහු කීවේ ය, “මොකද මං ඒක කියවලා ඉවර කළේ ඊයෙ රෑ.” ඔහු පහත් වී, නැවතත් සිබිල් ගේ අත ගත්තේ ය. “ඒ පොත ගැන ඔයා හිතුවෙ මොකක්ද?” ඔහු ඇගෙන් ඇසී ය.
“කොටි අර ගහ වටේට දිව්ව ද?”
“මං හිතුවා උන් දුවන එක නවත්තන එකක් නැහැ කියලා. මං එච්චර කොටි කවදාවත් දැකලා නෑ.”
“හිටියෙ කොටි හයදෙනෙක් විතරනෙ,” සිබිල් පැවසුවා ය.
“හයදෙනෙක් විතරනෙ!” තරුණයා පැවසී ය. “ඔයා ඒකට කියන්නෙ හයදෙනෙක් විතරයි කියල ද?”
“ඔයා ඉටිවලට කැමති ද?” සිබිල් ඇසුවා ය.
“මං ඉටිවලට කැමති ද?” තරුණයා ඇගෙන් ඇසී ය.
“ඉටි.”
“ගොඩක්. ඔයා කැමති නැද්ද?”
සිබිල් හිස සැලී ය. “ඔයා ඔලිව්වලට ආස ද?” ඇය ඇසී ය.
“ඔලිව්—ඔව්. ඔලිවුයි, ඉටියි. ඒවා නැතුව මං කොහේවත් යන්නෑ.”
“ඔයා ෂෑරන් ලිප්ෂුට්ස් ට කැමති ද?” සිබිල් ඇසුවා ය.
“ඔව්. ඔව්. මං කැමතියි,” තරුණයා පැවසී ය. “මං විශේෂයෙන් ම එයාගෙ කැමති දේ තමයි එයා හෝටලේ ලොබියෙ ඉන්න බල්ලොන්ට හිරිහැර නොකරන එක. අර කැනඩාවෙන් ආපු නෝනට අයිති ටෝයි බුල්ඩෝග් වර්ගෙ බල්ලා ඉන්නෙ. ඔයා මේක විශ්වාස කරන එකක් නැහැ, ඒත් සමහර ගෑනු ළමයි ඒ බල්ලට බැලුන් කූරුවලින් අයින්න කැමතියි. ෂෑරන් එහෙම නෑ. එයා දුෂ්ටත් නෑ. අකාරුණිකත් නෑ. අන්න ඒකයි මං එයාට එච්චර කැමති.”
සිබිල් වචනෙකුදු දෙඩුවේ නැත.
“මම ඉටිපන්දම් හපන්න කැමතියි.” ඇය අන්තිමට එසේ කීවා ය.
“කවුද ඒ වැඩේට අකැමති?” තරුණයා කීවේ, සයුරු දියෙන් දෙපා තෙමාගනිමිනි. “ෂහ්! හීතලයි.” ඔහු රබර් පහුර ජල කඳ මතට විසි කළේ ය. “එපා, තප්පරයක් ඉන්න සිබිල්. ඉන්න. අපි තව ටිකකින් යමු.”
ජලකඳ සිබිල් ගේ ඉණ ආසන්නට නැඟ එන තෙක් ඔවුහු වතුරේ බැසීගෙන ඇවිද ගියහ. ඉන්පසු තරුණයා ඇයව ඔසොවා, ඇයව මුණින්තලාව රබර් පහුරේ සැතැප්පුවේ ය.
“ඔයා නානකොට කොණ්ඩෙ නොතෙමෙන්න තොප්පියක් එහෙම දාගන්නෙ නැද්ද?” ඔහු ඇසී ය.
“මාව අත අරින්න එපා,” සිබිල් අණ කළා ය. “මාව අල්ලගෙන ඉන්න.”
“මිස් කාපෙන්ටර්, මට මේ වැඩේ හොඳට පලපුරුදුයි,” තරුණයා පැවසී ය. “ඔයා විමසිල්ලෙන් ඉන්නකො කෙහෙල්මාළු ඉන්නව ද කියලා. මේක කෙහෙල්මාළු අල්ලන්න කියාපු දවසක්.”
“මට එකෙක්වවත් පේන්නෙ නැහැ,” සිබිල් පැවසී ය.
“මට ඒක තේරුම්ගන්න පුළුවන්. උන් හැසිරෙන විදිහ හරි අමුතුයි. හරිම අමුතුයි.” ඔහු රබර් පහුර තල්ලු කරමින් සිටියේ ය. ජල කඳ ඔහුගේ පපුව තෙක් ඉහළට පැමිණ නොතිබුණි. “එයාලගෙ ජීවිතේ හරි ඛේදජනක එකක්.” ඔහු පැවසී ය. “දන්නවද එයාලා මොනවද කරන්නෙ කියලා, සිබිල්?”
ඇය හිස දෙපසට සෙළවූවා ය.
“එයාලා කෙසෙල් තියෙන ලොකු ගුලකට පීනනවා. එයාලා එහෙම පීනලා යද්දි එයාලගෙ පෙනුම හරි සාමාන්‍යයි. ඒත් එයාලා ඇතුළට එද්දි, එයාලා හැසිරෙන්නෙ ඌරො වගේ. මං අහලා තියෙනවා සමහර කෙහෙල්මාළු කෙසෙල් ගුලකට පීනලා කෙසෙල් හැත්තෑ අටක් විතර කාලා තියෙනවා කියලා.” ඔහු රබර් පහුර ද, එහි නැඟී සිටි මඟියාව ද ක්ෂිතිජය දෙසට අඩියක් පමණ කිට්ටු කළේ ය. “ඉතින් ඊට පස්සෙ එයාලා කොච්චර මහත් වෙනවද කියනව නං, එයාලට අර ගුලෙන් එළියට පැනගන්න බැරි වෙනවා. අර ගුලේ කවාටෙන් උන්ට එළියට පැනගන්න බෑ.”
“ඒක එච්චර අමුතු නෑ,” සිබිල් පැවසී ය. “එයාලට මොකද වෙන්නෙ?”
“කාටද?”
“කෙහෙල්මාළුන්ට.”
“ආ ඔයා කියන්නෙ අච්චර කෙසෙල් කාලා, ගුලෙන් පැනගන්න බැරි වුණා ම ද?”
“ඔව්,” සිබිල් කීවා ය.
“මං ඔයාට මේක කියන්න එච්චර කැමැත්තකුත් නෑ, සිබිල්. උන් මැරෙනවා.”
“ඇයි ඒ?” සිබිල් ඇසුවා ය.
“එයාලට කෙසෙල් උණ හැදෙනවා. ඒක හරි දරුණු අසනීපයක්.”
“ඕන්න රැල්ලක් එනවා,” සිබිල් නොඉවසිල්ලෙන් පැවසුවා ය.
“අපි ඒක මඟ අරිමු. ඒකෙන් ඈත් වෙමු,” තරුණයා කීවේ ය. “අහංකාර දෙන්නෙක් වගේ.” ඔහු සිබිල් ගේ වළලුකර පෙදෙස් ඔහුගේ දෑතට ගෙන, පහළට තදකොට, ඉදිරියට තල්ලු කළේ ය. පහුර රැල්ලෙහි වැදී, එය මඳක් හැරවුණි. ජලයෙන් සිබිල් ගේ තඹ කොණ්ඩය තෙමුණු නමුත්, ඇය පිට කළ කෑගැසුම ප්‍රීතිමත් එකක් විය.
නැවතත් පහුර සමතලා ව ජලකඳේ පාවෙමින් තිබූ විට, ඇය ඇගේ දෑසට වසාගෙන වැටී තිබූ තෙත, පැතලි කෙහෙරැල්ලක් ඉවත් කළ අතර, “මං එකෙක් දැක්කා” කියා පැවසුවා ය.
“දැක්කෙ මොකෙක්වද පැටියෝ?”
“කෙහෙල්මාළුවෙක්ව!”
“මගෙ දෙයියනේ!” තරුණයා පවසන්නට විය. “උගෙ කටේ කෙසෙල් එහෙම තිබ්බ ද?”
“ඔව්,” සිබිල් පැවසුවා ය. “හයක් ම.”
පහුර අද්දරින් පහතට එල්ලා වැටෙමින් තිබූ ඇගේ තෙත පාදවලින් එකක් එක්වර ම අතට ගෙන, තරුණයා එහි නැම්ම සිපගත්තේ ය.
“ඒයි!” එක්වර ම අනෙක් පැත්ත හැරෙමින්, පාදයෙහි අයිතිකාරිනිය පැවසුවා ය.
“ඒයි! අපි දැන් වතුරට බහින්නයි යන්නේ. ඇයි ඔයාට යන්න ඕනෙ නැද්ද?”
“නෑ!”
“සොරි,” ඔහු එලෙස පවසා, පහුර වෙරළ වෙතට මෙහෙයවූ අතර, සිබිල් ඉන් ඉවත් වී ගොඩබිමට බැස්සා ය. නැවත එන විට එය රැගෙන ගියේ ඔහු ය.
“ගුඩ්බායි,” සිබිල් එලෙස පවසා, පසුතැවීමකින් තොර ව ම හෝටලය පිහිටා තිබූ දෙසට දිව ගියා ය.
තරුණයා නැවතත් නාන කබාය ඇඟලාගෙන, එහි පටි තදකොට, තුවාය එහි සාක්කුවකට ඔබාගත්තේ ය. ඔහු සෙවලමය තෙතක් තිබූ, සුවිසල් පහුර අතට ගෙන, කිහිල්ලට යටින් තබාගත්තේ ය. ඔහු බොහෝ මහන්සියෙන් සුමුදු, උණු වැලි මතින් පා තබමින් හෝටලය දෙසට ඇවිද ගියේ ය.
ස්නානය කරන්නන්ට භාවිත කරන්නැයි කියා හෝටල් පරිපාලකවරු උපදෙස් දුන්, හෝටලයේ උප-ප්‍රධාන මහලේ දී සිය නාසයේ තුත්තනාගම් ආලේප කරගෙන සිටි ගැහැනියක් තරුණයා සමඟින් සෝපානයට නැඟුණා ය.
“මට පේනවා ඔයා මගේ කකුල් දිහා බලාගෙන ඉන්නවා කියලා,” සෝපාන මැදිරිය චලනය වෙමින් තිබිය දී ඔහු ඇයට පැවසී ය.
“මොකක්ද කිව්වෙ?” ගැහැනිය ඇසුවා ය.
“මං කිව්වෙ ඔයා මගේ කකුල් දිහා බලාගෙන ඉන්නවා කියලා මට පේනවා කියලා.”
“මොනවද කියන්නෙ. මං මේ බලන් ඉන්නෙ බිම,” ගැහැනිය එලෙස පවසා, මැදිරියේ ද්වාර දෙස බලා සිටියා ය.
“මගෙ කකුල් දිහා බලන්න ඕනෙ නං, ඒක කියන්න,” තරුණයා පැවසී ය. “හැබැයි ඔහොම හොරෙන් නං බලන්න ලෑස්ති වෙන්න එපා.”
“කරුණාකරලා මට මෙතනින් පිටවෙන්න දෙන්න,” මැදිරිය මෙහෙයවමින් සිටි තරුණියට ගැහැනිය එලෙස පැවසී ය.
මැදිරියේ ද්වාර විවර වූ අතර, පසුපසවත් නොබලමින්, ගැහැනිය මැදිරිය තුළින් ඉවත් ව ගමන් ගත්තා ය.
“මට තියෙන්නෙ සාමාන්‍ය කකුල් දෙකක්. ඇයි කවුරුවත් ඒවා දිහා බලන් ඉන්නෙ කියන එකට මොනම විදිහක හේතුවක්වත් මට හිතාගන්න බෑ.” තරුණයා පැවසී ය. “කරුණාකරලා පස්වෙනි තට්ටුවට යමු.” ඔහු ඔහුගේ කබා සාක්කුවෙන් කාමර යතුර පිටතට ගත්තේ ය.
ඔහු පස්වැනි මහලෙන් පිටත් වී, ශාලාව ඔස්සේ ගමන් ගෙන, 507 කාමරයට ඇතුළු විය. කාමරයෙන් හැමූයේ නිය සායම් තින්ත ඉවත්කරන දියරයේ ගන්ධයත්, වසුහමින් නිමැවුණු බඩුමළුවලින් හමන ගන්ධයත් ය.
නිදන ඇඳන් දෙකෙන් එකක සැතැපී සිටි යුවතිය දෙසට ඔහු බැල්මක් හෙලී ය. ඉන්පසුව ඔහු බඩුමළුවලින් එකක් දෙසට ගොස්, එය විවර කොට, එහි තිබූ කොට කලිසම් සහ බැනියම් ගොඩ යටින් ඕට්ගීස් කැලිබර් 7.65 ඔටෝමැටික් පිස්තෝලයක් පිටතට ගත්තේ ය. ඔහු එහි මැගසිනය පිටතට ගෙන, එය දෙස බලා, එය නැවතත් පිස්තෝලයට ඇතුළු කළේ ය. ඔහු තුවක්කුවේ කොකා සැකසුවේ ය. අනතුරුව ඔහු අනෙක් නිදන ඇඳ වෙතට ගොස්, එහි හිඳගෙන, යුවතිය දෙස බලා, එල්ලය ගෙන, තම හිසේ දකුණු ඇහිබමට ඉහළ ප්‍රදේශය තුළින් උණ්ඩය ගමන්ගන්නා පරිදි තමාට ම වෙඩි තබාගත්තේ ය.
සිංහල පරිවර්තනය : කාව්‍ය තත්සර
1 - සීමෝ ග්ලාස් ගේ නම ඉංග්‍රීසි බසින් ලියන්නේ Seymour Glass කියා යි. නමුත් එය හඬනඟා කියන විට ඉංග්‍රීසි වචන තුනක් වන see, more, සහ glass යන වචනවල හඬ පිටවේ. මෙබන්ඳක් ඇතුළත් කිරීම මඟින්, සැලින්ජර්, සිබිල් පවසන නම, එනම් සීමෝ ග්ලාස් යන්න, ඇගේ මවට ඇසෙන්නේ සී මෝ ග්ලාස්, නැතහොත් see more glass කියා යි. “ඔයා සීමෝ ග්ලාස් ව දැක්ක ද?” යන්න ඇයට ඇසෙනුයේ “ඔයා තව වීදුරු දැක්කද?” කියා යි. චරිත අතර සන්නිවේදනයේ ඇති දුර්වලතා සහ අපහසුතා සැලින්ජර්ගේ කතන්දරවල ප්‍රකට තේමාවකි.
2 - ටෙරීක්ලෝත් යනු තුවා, නානකබා වැනි දෑ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන කපු රෙදි වර්ගයකි.
3- ප්ලේන් එකෙන් යන වචනය පිලෙන්නෙකෙන් යනුයෙන් වෙනස් කිරීමට සිදුවූයේ මුල් කතාවේ aeroplane යන වචනය nairiplane යනුවෙන් ලියා තිබීම නිසාවෙනි. සිබිල් කතා කරන ආකාරය එය ය.
4 - මෙම පේළිය, ටී. එස්. එලියට් ගේ The Wasteland හි මුල් පේළිවලින් එකකි. මෙය ඇතුළත් කිරීම මඟින් සීමෝ කවි කියැවීමට දක්වන ලැදියාව මෙන් ම, ඔහුගේ සහ මෙම ළමා චරිත අතර පවතින අසාමාන්‍ය ඇඟෑලුම පිළිබඳ ඉඟියක් දක්වන්නට සැලින්ජර් උත්සහ කරයි.




Comments